February 14, 2024

අන්ධ පුද්ගලයකුට මත්පැන් පානය කිරීමට සලස්වා ඔහු මත් වූ පසු ඔහුගේ අත්සන වංචනික ලෙස ලබාගෙන කැකිරාව ප්‍රදේශයේ අක්කර 12ක ඉඩමක් තම නමට පවරාගත් අයකු හා පසුව එම ඉඩම කොටස් කර කෝටි ගණනක මුදලකට විකිණූ ජාවාරම්කරුවකුත්, එම හොර ඔප්පුවේ හිමිකරු වන අන්ධ පුද්ගලයාත් ඇතුළු තිදෙනකු අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන කැකිරාව රත්මල් කන්ද ප්‍රදේශයට පැමිණ සිටින පුද්ගලයකු හා අනුරාධපුර නගරයේ සහ ඇලයාපත්තුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.

මෙම ඉඩම් ඔප්පුව සකස්කර පැවරීම සඳහා කූට ලේඛන සකස් කිරීමට දායක වූ නීතිඥවරයා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට කටයුතු කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

එම ඉඩමේ හිමිකරු ලෙස ඉඩම් ඔප්පුවේ නම සඳහන්ව තිබූ අන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ තමාට කැකිරාව ප්‍රදේශයේ කිසිදු ඉඩමක් නොමැති බවත්, තමන් ඇලයාපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්ය.

අනුරාධපුර නගරයේ පදිංචි සැකකාර පුද්ගලයා තමාව සාදයකට රැගෙන ගොස් මත්පැන් පානය කිරීමෙන් අනතුරුව සාක්ෂියක් සඳහා අත්සන් කිරීමට යැයි පවසමින් අතින් අල්ලාගත් බව මතක බවද එම පුද්ගලයාගේ ප්‍රකාශවල සටහන් වේ.

ව්‍යාජ ලේඛන සකස් කර මෙලෙස හොර ඔප්පුවක් සකසා තිබූ පුද්ගලයාගෙන් ප්‍රධාන ජාවාරම්කරු⁣ එම ඉඩම ඔහුගෙන් ලබාගෙන ඇත්තේ රජයේ ව්‍යාපෘතියක් සඳහා බව පවසමින් බවද පොලිසිය සඳහන් කළේය.

පසුව කැකිරාව ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන ජාවාරම්කරු කෝටි ගණනක් වටිනා අක්කර 12ක එම ඉඩම කොටස් කර ව්‍යාපාරිකයන්ට සහ විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා ලක්ෂ විස්සේ සිට ඉහළ මිල ගණන්වලට විකුණා තිබූ බව පොලිසිය අනාවරණය කර ගෙන ඇත.

මෙම ඉඩම් ජාවාරම් සිදුකරන පුද්ගලයන් තමන්ට අයිති නැති ඉඩම් සඳහා හොර ඔප්පු සකස්කර එම ඉඩමේ අයිතිකරුවන් ලෙස පෙනීසිටිමින්, ඔප්පු සාදා විකුණන ජාවාරම් නිරන්තරයෙන් සිදුවන අතර, ඒ සම්බන්ධයෙන් මහජනතාව දැඩි විමසිල්ලෙන් පසු වන ලෙස උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.(දිනමිණ)