42.31%
17.27%
32.76%
February 13, 2024

සංචාරකයින්ගේ පැමිණීමට සරිලන පරිදි දිවයිනේ ප්‍රධාන අන්තර්ජාතික ගුවන් තොටුපළ කළමනාකරණය කිරීම සඳහා ප්‍රමුඛ පෙළේ ඉන්දීය සමාගමක් සම්බන්ධ කරගැනීමේ සූදානමක් පවතින බව සංචාරක හා ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු අනාවරණය කළේය.

යටිතල පහසුකම් නංවාලීමට සහ ඉන්දියාව සමඟ සමීප සබඳතා ශක්තිමත් කිරීමට රජයේ කැපවීම අවධාරණය කරමින් පසුගියදා මුම්බායි හි පැවති ශ්‍රී ලංකා සංචාරක ජාලකරණ සැන්දෑවේදී ඇමැතිවරයා මෙම අනාවරණය සිදුකළේය.

මෙලෙස ඉන්දියාවේ අදානි (Adani) සමූහ ව්‍යාපාරය විසින් කළමනාකරණය කිරීමට නියමිත ගුවන් තොටුපළ අතරට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ, හම්බන්තොට මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ සහ රත්මලාන කොළඹ අන්තර්ජාතික ගුවන්තොටුපළ ඇතුළත් වේ.

ප්‍රනාන්දු ඇමැතිවරයා මෙම සහයෝගීතාව පිළිබඳව සුභවාදී අදහස් පළකරමින් ශ්‍රී ලංකාවේ සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍රයට එමගින් ඇති පරිවර්තනීය වෙනස අවධාරණය කළේය.

“වැඩිවන සංචාරකයන් සංඛ්‍යාවට පහසුකම් සැලසීම සඳහා ඉන්දියානු සමාගම් අපගේ ප්‍රධාන ගුවන් තොටුපළවල් තුනක් පවරා ගැනීමට නියමිත අතර එය අපට අතිවිශිෂ්ට තීරණයක් වනු ඇත,” යැයි ඔහු පැවැසීය.

මේ අතර ඉන්දියාවේ අදානි සමූහය (Adani Group) ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාතික ගුවන් තොටුපොළ වන කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ ඇතුළුව දිවයිනේ ගුවන් තොටුපළ තුනක් කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත පසුගිය පෙබරවාරි 10 වැනිදා වාර්තා කර තිබිණි.

42.31%
17.27%
32.76%