February 12, 2024

අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ ‘යුක්තිය’ මෙහෙයුම දියත් කළ පළමු මාසය තුළ අපරාධවල අඩුවක් දක්නට ලැබුණ ද රට තුළ වාර්තා වන වෙඩි තැබීමේ සිදුවීම්වල ඉහළයෑමක් නිරීක්ෂණය වී තිබේ.

ඒ අනුව සංවිධානාත්මක අපරාධවලට එරෙහි “යුක්තිය” වැනි මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබියදී මෑත කාලයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මතුවන්නේ ගැටලු සහගත තත්ත්වයකි.

පොලිස් වාර්තාවලට අනුව, තුවක්කු ආශ්‍රිත ප්‍රචණ්ඩ ක්‍රියා මෑත කාලීනව ඉහළගොස් ඇත්තේ ජනසමාජය තුළ භීතියක්ද ඇති කරමිනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසන පරිදි මේ වසරේ ජනවාරි සිට පෙබරවාරි 10වැනිදා දක්වා කාලය තුළ වාර්තා වූ වෙඩි තැබීමේ සිද්ධිවලින් අවම වශයෙන් මරණ 12ක් වාර්තා වී තිබේ.

එම වෙඩි තැබීම්වලින් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබිණි.

තවත් අවස්ථා දෙකකදී වෙඩි තැබීම් සිදුකර තිබුණ ද එමගින් කිසිවෙකුටත් තුවාල සිදුව නොතිබිණි.

අපරාධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධීන් මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සහ මහජන ආරක්ෂක අමාත්‍යංශය “යුක්තිය” මෙහෙයුම දියත් කරන ලද්දේ 2023 දෙසැම්බර් මාසයේදීය.

සංඛ්‍යාලේඛනවලට අනුව, ‘යුක්තිය’ මෙහෙයුම දියත් කිරීමෙන් පසු පළමු මාසයේ දී රටේ අපරාධවල සියයට 11ක අඩුවීමක් වාර්තා වී තිබේ.

කෙසේවෙතත්, පසුගිය සති කිහිපය තුළ කොළඹ සහ ගාල්ල වැනි ප්‍රධාන නගරවල වෙඩි තැබීම් කිහිපයක් දැකගත හැකි විය.

එම වෙඩි තැබීම්වලදී අපරාධකරුවන් යැයි කියනු ලබන අය මෙන්ම අවට සිටි අහිංසකයන් ද ජීවිතක්ෂයට පත්ව තිබිණි.

ජනවාරි 22 වැනිදා බෙලිඅත්තෙන් වාර්තා වූ දේශපාලන පක්‍ෂ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු, අපරාධ කල්ලියකට සම්බන්ධ යැයි සැළකෙන පිරිසක් විසින් ඝාතනය කිරීමේ සිදුවීම මෙම වෙඩි තැබීමේ සිදුවීම් අතරින් කැපී පෙනෙන සිදුවීමයි.

ඊට අමතරව මෑත කාලීනව එනම් පසුගිය සෙනසුරාදා (10) තවත් සිදුවීම් දෙකක් වාර්තා වී තිබිණි.

මීගමුව ගල්කන්ද සහ මහකුඹුක්කඩවල සෙම්බුකුලිය යන ප්‍රදේශවලින් එම වෙඩි තැබීම් වාර්තා විය.

එම සිදුවීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනයට ලක්විය.

පළමු සිද්ධියේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මීගමුව ගල්කන්ද ප්‍රදේශයේදී 60 හැවිරිදි පුද්ගලයකු ඝාතනය කර පලා ගොස් තිබිණි.

එම වෙඩි තැබීමට හේතුව සහ වින්දිතයාගේ අනන්‍යතාව තවමත් නොදනී.

මහකුඹුක්කඩවල සෙම්බුකුලිය ප්‍රදේශයෙන් වාර්තා වූ දෙවැනි සිදුවීම පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් ලෙස සැළකේ.

මීට අමතරව මීට දින කිහිපයකට පෙර ගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකදී භික්ෂූන් වහන්සේ නමක් වෙඩි තබා ඝාතනය කර තිබිණි.

මෙම සිදුවීම් සිවිල් වැසියන් අතර භීතිය සහ නොසන්සුන්තාව ඇති කිරීමට සමත්ව තිබේ.

එසේම එමගින් ප්‍රශ්න මතු කරන්නේ “යුක්තිය” මෙහෙයුමේ ඇති ඵලදායිතාවයි.

පොලිසිය ප්‍රකාශ කර තිබුණේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රචණ්ඩකාරී සිදුවීම් රැසකට ප්‍රතිචාර වශයෙන් “යුක්තිය” මෙහෙයුම දියත්කරන බවයි.

ඒ යටතේ පසුගිය වසරේ දෙසැම්බර් 17 වැනිදා සිට මේ දක්වා නීතිවිරෝධී අවි සහ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 60,000කට ආසන්න පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුම ලබන පෙබරවාරි 17 වැනි දින එහි මාස දෙකක සන්ධිස්ථානය සටහන් කරන අතර මෙහෙයුම්වලදී බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 7,733කට අධිකය.

රුපියල් මිලියන 726කට අධික දේපළ ද රාජසන්තක කර ඇත.

අපරාධ මැඩලීම සහ මහජන ආරක්ෂාව යථා තත්ත්වයට පත් කිරීම මෙම මෙහෙයුමේ අරමුණ වුවද වැඩිවන තුවක්කු ප්‍රචණ්ඩත්වය, බලය අනිසි ලෙස භාවිත කිරීම සහ සැකකරුවන් සඳහා නිසි ක්‍රියා පටිපාටියක් නොමැතිකම පිළිබඳ විවේචකයන් ප්‍රශ්න මතුකර තිබේ.

අපරාධ මැඩලීම සඳහා සමතුලිත ප්‍රවේශයක වැදගත්කම අවධාරණය කරන මානව හිමිකම් කණ්ඩායම් ස්වාධීන අධීක්‍ෂණය සහ නීතිමය ක්‍රියාපටිපාටිවලට අනුගත වීමේ වැදගත්කම ද පෙන්වා දී තිබේ.

කෙසේවෙතත්, පොලිසිය විසින් මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගනු ලබන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පහළ මට්ටමේ පිරිස් පමණක් බවට ද චෝදනාවක් තිබේ.

එම චෝදනා ප්‍රතික්ෂේප කරන වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසන්නේ මෙහෙයුමේදී ඉහළ පෙළේ මෙන්ම පහළ මට්ටමේ ජාවාරම්කරුවන්ද අත්අඩංගුවට ගත් බවයි.

මේ අතර පසුගිය දිනවල සිදු වූ වෙඩි තැබීම්වලට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් නීතිවිරෝධී ගිනි අවි මැඩලීමේ කටයුතු තවදුරටත් තීව්‍ර කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේය.

නීතිවිරෝධී ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග පිරිනැමීමේ වැඩපිළිවෙළක් ද පොලිසිය විසින් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඔහු පැවසුවේ මෑත කාලීන වෙඩි තැබීමේ සිද්ධීන් බොහොමයක් පෞද්ගලික ආරවුල් මත ඇති වූ ඒවා බවයි.

මේ අතර, පසුගිය සෙනසුරාදා පානදුරේ පැවති උත්සවයකට එක්වෙමින් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්, “යුක්තිය”මෙහෙයුම පිළිබඳ විවේචන පිළිගත් නමුත් අගනුවර සහ ඉන් පිටත ජනතාවගෙන් එයට ලැබී ඇති සහයෝගය පෙන්වාදුන්නේය.

මෙහෙයුමේ අදේශපාලනික ස්වභාවය අවධාරණය කළ ඔහු එහි සාර්ථකත්වය වෙනුවෙන් සියලු අංශවල සහයෝගය ඉල්ලා සිටියේය.(Daily Mirror)

 

42.31%
17.27%
32.76%