February 12, 2024

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සඳහා රුපියල් බිලියන 20ක මුදලක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ සමන් ශ්‍රී රත්නායක පවසයි.

ජනමාධ්‍යවේදීන් හමුවේ ඔහු කියාසිටියේ තමන් මේ වන විටත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට සහ මුදල් අමාත්‍යංශයට දැනුම් දී ඇති බවයි.

එහෙත් ඉකුත් සතියේ කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දෙමින් රජය ප්‍රකාශ කළේ මෙම මැතිවරණ දෙක වෙනුවෙන්ම 2024 වසර සඳහා රජය වෙන්කර ඇත්තේ රුපියල් බිලියන 10ක් පමණක් බවයි.

2024 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු මඟින් රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ අදාළ වියදම් එකී ප්‍රතිපාදන තුළ කළමනාකරණය කර ගැනීමට සිදුවන බවත් කැබිනට් මණ්ඩල තීරණයේ දක්වා තිබිණි.

ඒ අනුව, ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන ප්‍රධාන මැතිවරණ දෙකම පැවැත්වීමට රජය සූදානම් වී තිබුණේ ප්‍රයෝගික නොවන රුපියල් බිලියන 10ක මුදලක් පමණක් ප්‍රතිපාදන වශයෙන් වෙන්කරමිනි.

වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය 2025 දී අවසන් වන අතර ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවේ නිල කාලය වසර හතරහමාරක් සම්පූර්ණ වූ පසු ඕනෑම වේලාවක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ව්‍යවස්ථාමය ප්‍රතිපාදන තිබේ.

ජනාධිපතිවරණයක් නොපවත්වා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ කුහක ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වන බවට විපක්ෂය චෝදනා කරද්දී ආණ්ඩුව මේ වසරේ ජනාධිපතිවරණය පවත්වන බවට ප්‍රතිඥා දී ඇත.

42.31%
17.27%
32.76%