February 12, 2024

විදුලි බිල ගෙවාගැනීමට නොහැකි වූ නිවසක විදුලිබල මණ්ඩලය මගින් විදුලිය විසන්ධි කිරීමෙන් පාසල් දරු දෙදෙනාට පාඩම් කිරීමට නොහැකි බව පවසමින් අසල්වැසි නිවසකින් විදුලිය ගැනීමට උත්සාහ කළ දෙදරු පියකු එම විදුලි රැහැනේ පැටළී මිය ගොස් ඇතැයි ගම්පොළ පුපුරැස්ස පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පුපුරැස්ස ලෙවලන්වත්ත ජී.කේ. කොටසේ පදිංචිව සිටි අලගන් ගනේෂන් නමැති තිස්අට හැවිරිදි දෙදරු පියෙකි.

දැඩි ආර්ථික අපහසුතා නිසා මීට සතියකට පෙර මොහුගේ බිරිඳ ද ගෘහ සේවය සඳහා විදේශගතව ඇති අතර, පළමු වසරේ ඉගෙනුම ලබන ගැහැණු දරුවකු හා හය වසරේ ඉගෙනුම ලබන පිරිමි දරුවා බලාගනිමින් මොහු වත්තේ පේළි නිවසක ජීවත් වී ඇත.

මොහු සමග ඔහුගේ පියා ද සිටින අතර, රුපියල් දහසය දහසක හිග මුදලක් ඇති නිසා මොහුගේ නිවසේ විදුලිය විසන්ධි කර තිබේ.

විදුලිය නොමැතිකම සමග නිවසේ දැඩි අඳුරු බව හා දරු දෙදෙනාගේ පාඩම් කටයුතු අඩාල වීම පිළිබඳව ඔහු දැඩි දුකින් සිටි බව ඔහුගේ ඥාතීන් ගම්පොල හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක හා පොලිස් නිලධාරින් ඉදිරියේ සඳහන් කර ඇත.

විදුලිය නැති හේතුව නිසා එහි පේළි නිවසේ සිටින ඥාතියෙකුගේ නිවසින් රැහැන් යොදා මොහුගේ නිවසට විදුලිය ගැනීමට උත්සාහයක් ගෙන ඇති අතර, ඒ අවස්ථාවේදී එම විදුලි වයරය ගෑවී ඔහු කෑ ගසා බිමවැටී තිබේ.

ඒ අවස්ථාවේ අසල්වැසියන් විදුලිය විසන්ධි කොට ඇති අතර මොහුගේ පියාගෙන් ඔහු බිමට ජලය ඉල්ලා ඇති අතර ජලය පානය කිරීමට පෙර මොහු මියගොස් ඇත.

එම වත්තේ සිටින වෛද්‍යවරයෙකු පැමිණි මොහු මිය ගොස් ඇති බව තහවුරු කිරීම සමග පුපුරැස්ස පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.

ගම්පොල රෝහලේ හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක එම ස්ථානයට පැමිණි අතර, ගම්පොළ ස්ථානීය අපරාධ අංශ (සොකෝ) නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇත.

එම නිලධාරින් ඉදිරියේ ප්‍රකාශ වුණේ විදුලිය බිල ගෙවීමට නොහැකිව එම වත්තේ තවත් නිවාස පහළොවක පමණ විදුලිය විසන්ධි කර ඇති බවයි.

මෙම පේළි නිවාසයේ නිවාස තුනකද විදුලිය විසන්ධිකර ඇති අතර අනෙකුත් නිවාස වලටද රතු බිල් එවා ඇති බවද මෙහිදී සඳහන්ව ඇත.

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුර ගම්පොළ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.(දිවයින)

42.31%
17.27%
32.76%