February 10, 2024

රඹුක්කන මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ පත්තම්පිටිය, උඩහුරුව ප්‍රදේශයේ නතර කර තිබුණු ලොරි රථයක පිටුපස යතුරුපැදියක් ගැටීමෙන් එම යතුරුපැදියේ ගමන් කළ හිමිනමක සහ කාන්තාවක බරපතළ තුවාල ලබා ඊයේ (09) අලුයම කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි රඹුක්කන පොලිසිය පවසයි.

කැගල්ල මහ රෝහලේ මෙසේ ප්‍රතිකාර ලබන්නේ රඹුක්කන ප්‍රදේශයේ විහාරස්ථානයක සිටින 23 හැවිරිදි තරුණ හිමි නමක හා පත්තම් පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින 40 හැවිරිදි දෙදරු කාන්තාවක් බව පොලිසිය පවසයි.

මෙම හිමිනම විහාරස්ථානයේ දෙවැනි හිමිනම ලෙස වැඩ සිට ඇති බවත්, සැමියා විදේශ රටක සේවය කරන විහාරස්ථානය ආසන්නයේ පදිංචි තරුණ දායිකාවක සමග සම්බන්ධතාවක් කලක සිට පවත්වාගෙන ගොස් ඇති බවත් මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි.

හිමිනම ඊයේ (09)දා අලුයම තරුණ දායිකාවගේ නිවෙසට ගොස් ඇගේ 17 හැවිරිදි පිරිමි දරුවාට අයත් යතුරු පැදිය තල්ලු කරගෙන මද දුරක් රැගෙන ගොස් පණගන්වා කාන්තාව යතුරු පැදියේ පිටුපස අසුනේ තබාගෙන රඹුක්කන දෙසට ධාවනය කර ඇතැයි පැවැසේ.

යතුරු පැදිය ලොරි රථයේ ගැටෙන ශබ්දය අලුයම අසල පදිංචිව සිටින ලොරි රථයේ හිමිකරුට ඇසී ඔහු පැමිණ බලන අවස්ථාවේ දී කාන්තාවක හා හිමි නමක් වැටී සිටින අයුරු දැක 1990 හදිසි ගිලන් රථ සේවයට දන්වා ගිලන් රථයෙන් හිමි නම හා කාත්තාට රඹුක්කන මුලික රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

බරපතළ තත්වයේ සිටි හිමි නම හා කාන්තාව පසුව ගිලන් රථයකින් කෑගල්ල මහ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.

හිමිනම අධික ලෙස මත්පැන් හෝ මත්ද්‍රව්‍ය පානය කර සිට ඇති බවත්, වම් කකුලේ දණහිසට ඉහළින් අස්ථියක් බිඳී ඇති බවත් වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ.

හිමිනම කියා ඇත්තේ රඹුක්කන නගරයට යෑමට ගිය අවස්ථාවේදී අනතුරට මුහුණ දුන් බවයි. (ලංකාදීප)

42.31%
17.27%
32.76%