February 8, 2024

වැඩ කරන වේලාවෙන් පිටත තම ප්‍රධානීන්ගෙන් ලැබෙන ඇමතුම් සහ පණිවිඩ නොසළකා හැරීමට කම්කරුවන්ට අයිතිය ලබා දෙන නීතියකට ඕස්ට්‍රේලියානු සෙනෙට් සභාව අද අනුමැතිය ලබා දී තිබේ.

නව යෝජිත නීතිවලට ඕස්ට්‍රේලියානුවන් දැඩිලෙස ප්‍රීති වූ නමුත් සමහර ව්‍යාපාරික නායකයන් එම නීති සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබේ.

“විසන්ධිවීමට ඇති අයිතිය” යනු ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනතක් යටතේ ෆෙඩරල් ආණ්ඩුව විසින් යෝජනා කරන ලද කාර්මික කටයුතුවලට සම්බන්ධ නීතිවල සිදුකරන වෙනස්කම්වලින් එකකි.

පනත බ්‍රහස්පතින්දා සෙනෙට් සභාවේදී සම්මත වූ නමුත් සමහර සංශෝධන අනුමත කිරීම සඳහා එය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙත යොමු කිරීමට අවශ්‍ය වනු ඇත.

සිඩ්නි නුවර පදිංචි කොල්වින් මැක්ෆර්සන් පැවසුවේ මෙය අපූරු අදහසක් ලෙස තමා සළකන බවයි.

“අපි හැමෝම විවේකීව ඉන්න ඕනේ, මධ්‍යම රාත්‍රියේ විද්‍යුත් තැපැල් සහ දුරකථන ඇමතුම්වලින් බාධා නොවීමටත් එම උපකරණ ක්‍රියා විරහිත කිරීමටත් අපි හැමෝටම පුළුවන් වෙන්න ඕනේ. මගේ දරුවන් දෙදෙනාම නීතිඥයන්, ඒ නිසා ඔවුන් පැය ගණනක් වෙහෙස මහන්සි වී වැඩ කරනවා. රාත්‍රියේදීත් වැඩ එනවා,” යැයි ඔහු පැවසීය.

සේවකයන්ට ඔවුන්ගේ උපාංග ක්‍රියා විරහිත කිරීමට අයිතියක් ලබා දෙන මීට සමාන නීති ප්‍රංශය, ජර්මනිය සහ යුරෝපා සංගමයේ අනෙකුත් රටවල දැනටමත් ක්‍රියාත්මක වේ.

නව නීතියට අනුව තාවකාලික පදනමේ සිට රැකියාව ස්ථිරවීම දක්වා පැහැදිලි මාර්ගයක් සැකසීම මෙන්ම තාවකාලික සේවකයන් සහ ට්‍රක් රථ රියදුරන් සඳහා පැවතිය යුතු අවම පහසුකම් වැනි වෙනත් විධිවිධාන ද ඇතුළත් වේ.

“මම හිතන්නේ කෙනෙක්ගේ වැඩ කරන දිනය අවසන් වන විට සහ සති අන්තයේ හෝ නිවාඩුවේ සිටින විට, නිවසේ සිටින විට, තමන්ගේම දෙයක් කරන විට ඔවුන්ගේ උපකරණ ක්‍රියා විරහිත කළ හැකි යැයි යන අදහස සාමාන්‍යයෙන් සාධාරණ දෙයක් ලෙසයි මට පෙනෙන්නේ,” තවත් සිඩ්නි වැසියකු වන අයිවන් කරජාස් පැවසීය.

කෙසේවෙතත්, ඕස්ට්‍රේලියාවේ වාණිජ මණ්ඩලවල ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් සෙනෙට් සභාවෙන් ඉල්ලා සිටින්නේ  “ඉක්මන් සහ දෝෂ සහිත” ව්‍යවස්ථාවක් ලෙස හඳුනාගෙන ඇති කරුණු පිළිබඳ නැවත හොඳින් සළකා බලන ලෙසයි.

“නවීන තාක්‍ෂණය ශ්‍රම බලකායට නම්‍යශීලී බවක් ලබා දී තිබෙනවා, බොහෝ සේවකයන්ට තවදුරටත් නවයේ සිට පහ දක්වා මේසයක් පිටුපස වාඩි වෙලා වැඩ කරන්න අවශ්‍ය නැහැ ,” යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් වේ.

“ජාතියක් ලෙස සැමදෙනා භුක්ති විඳින ධනය උත්පාදනය කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කරන ව්‍යාපාරිකයන්ට සහ අයිතිකරුවන්ට මෙවැනි කාර්මික සම්බන්ධතා නීතිවලට ඉඩ දිය නොහැක.” යනුවෙන් ද එම ප්‍රකාශයේ සඳහන් වේ.

ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාරික කවුන්සිලයේ ප්‍රධාන විධායක බ්‍රැන් බ්ලැක් කැන්බරාහි දී වාර්තාකරුවන්ට පැවසුවේ මෙම ප්‍රතිපාදන ව්‍යාපාරික විරෝධී බවත් එය ඉදිරිපත් කර ඇත්තේ ඕස්ට්‍රේලියාවට දරාගත නොහැකි කාලයක බවත්ය.

“මිනිසුන්ට උපාංග ක්‍රියා විරහිත කිරීමට හැකි විය යුතුයි කියන අදහසට ව්‍යාපාර විරුද්ධ නැහැ , මමත් ක්‍රියා විරහිත කරන්න කැමතියි. නමුත් එය කළ යුතු ආකාරය ගැන උපදේශන අවශ්‍ය වනවා,” යනුවෙන් බ්ලැක් පැවසීය.