February 8, 2024

සමලිංගික යුවළ සඳහා ආශිර්වාද ලබා දීමට තමන් ගත් තීරණය විවේචනය කරන්නන් අති උතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් දැඩිව විවේචනය කර තිබේ.

උන්වහන්සේ එලෙස විවේචනය කරන්නන් කුහකකමට වැරදිකරුවන් වන බව ප්‍රකාශ කර ඇත.

“මිනිසුන් සූරා කන ව්‍යවසායකයකුට මා ආශීර්වාද කරන්නේ නම් කිසිවකුට එය ප්‍රශ්නයක් වන්නේ නැහැ: එය බරපතළම පාපයක් ,” යනුවෙන් පෙබරවාරි 8 එනම් අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත ඉතාලි සඟරාවක් වන ක්‍රෙඩරේහි නවතම සංස්කරණය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පාප් වහන්සේ පවසා තිබේ.

“මම මගේ ආශිර්වාදය සමලිංගිකයකුට දුන්නොත් එය මේ කියන අයට ප්‍රශ්නයක් … මෙය කුහකකමක් ! අපි හැමෝම එකිනෙකාට ගරු කරන්න ඕන. හැමෝම මෙහි හදවත තේරුම්ගන්න ඕනේ ”

87 හැවිරිදි පාප් වහන්සේ විසින් 2023 දෙසැම්බර් 18 වැනි දින නිකුත් කරන ලද අවසරදීමකින් “අක්‍රමවත්” ලෙස එක්වන මෙවැනි ජෝඩු සඳහා නිල නොවන අවිධිමත් ආශිර්වාද පිරිනැමීමට පූජකවරුන්ට බලය පවරන ලදී.

මීට පෙර තහනම් කර තිබූ එවැනි ආශිර්වාද සඳහා වතිකානුව අවසර දුන් පළමු අවස්ථාව මෙයයි.

එහෙත් මෙම තීරණය පල්ලිය තුළ ප්‍රතිවිරුද්ධ මත ඇති කර තිබේ.

බටහිර පල්ලිවල පිරිස මෙම තීරණය බොහෝ දුරට පිළිගෙන ඇති අතර, අප්‍රිකාවේ බිෂොප්වරුන් නියෝජනය කරන මණ්ඩලයක් කියා සිටියේ අප්‍රිකානු ප්‍රජාවන්ගේ සංස්කෘතික ආචාර ධර්ම අනුව “එය අප්‍රිකාවට සුදුසු යැයි නොසළකන” නිසා ඔවුන් ආශීර්වාද නොකරනු ඇති බවයි.

පාප් වහන්සේ අප්‍රිකාවේ ආශිර්වාද විවේචනය විස්තර කර ඇත්තේ සංස්කෘතියේ බලපෑමට ලක් වූ “විශේෂ අවස්ථාවක්” ලෙසයි.

එහෙත් අප්‍රිකානු බිෂොප්වරු මේ සඳහා එකඟ නොවුණ ද පාප් වහන්සේට ඔවුන්ගේ පක්ෂපාතිත්වය පවත්වා ගෙන යති.

වතිකානුව අවධාරණය කර ඇත්තේ සමලිංගික ජෝඩු සඳහා වන ආශිර්වාදය විවාහය සඳහා නොව ඉල්ලා සිටින පුද්ගලයන්ට ලබාදෙන බවයි.

“මම ‘සමලිංගික විවාහයකට’ ආශීර්වාද කරන්නේ නැහැ , මම එකිනෙකාට ආදරය කරන දෙදෙනෙකුට ආශීර්වාද කරනවා, මා වෙනුවෙන් යාච්ඤා කරන ලෙසත් මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා,” ඔහු සම්මුඛ සාකච්ඡාව පැවැත්වූ පූජක දොන් වින්සෙන්සෝ විටලේට පැවසීය.

“සෑම විටම පාපොච්චාරණයේදී, මෙවැනි තත්ත්වයන් පැමිණෙන විට, සමලිංගිකයන්, නැවත විවාහ වූ වැනි අයට මම නිතරම යාච්ඤා කර ආශීර්වාද කරනවා. කිසිවකුට ආශිර්වාද කිරීම ප්‍රතික්ෂේප නොකළ යුතුයි.”පාප් වහන්සේ සඳහන් කරයි.

තමන් සඳහන් කරන්නේ බව්තීස්ම වීමට සුදුසුකම් ඇති සහ පල්ලියේ කොටසක් වීමට කැමති අය ගැන බව ද පාප් වහන්සේ පැවසීය.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් සමලිංගික ජෝඩු සඳහා ආශිර්වාද ලබා දීම,LGBTQ+ කතෝලික ප්‍රජාව පිළිබඳ පල්ලියේ ස්වරය සහ ප්‍රවේශය දීමට ඔහුගේ පුළුල් උත්සාහයේ කොටසක් ලෙස සැළකෙන නමුත් එය කතෝලික ධර්මය තුළ සමහර කොටස්වල ප්‍රතිරෝධයට මුහුණ දී ඇත.

ඔහුගේ සෞඛ්‍යය සහ එහාමෙහා යෑම අඩුවීම පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පාප් වහන්සේ පැවසුවේ පල්ලිය පාලනය කරන්නේ “හිසෙන් මිස කකුල්වලින් නොවන” බවයි.

“අපි පූජකවරු සමහර විට සැනසිල්ලේ ජීවත් වෙනවා” යැයි පැවසු පාප් වහන්සේ “ජනතාවගේ වැඩ සහ දුක් වේදනා” පුජකයන් තේරුම් ගත යුතු බවත් සඳහන් කළේය.