February 6, 2024

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වීමට නියමිත තරඟ තුනකින් යුත් එක්දින අන්තර්ජාතික තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් සංචිතයක් තෝරාගෙන තිබේ.

සිම්බාබ්වේ තරඟාවලියට නම් කරන ලද සංචිතයට සාපේක්ෂව, ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින සංචිතයේ වෙනස්කම් රැසක් සිදුකර නොමැති බව එම කමිටුව වැඩිදුරටත් සඳහන් කරයි.

හිටපු නායක දසුන් ශානක සංචිතයෙන් ඉවත් කර ඇති අතර, පසුගියදා පැවැති සිම්බාබ්වේ තරඟාවලිය අහිමි වූ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සංචිතයට ඇතුළත් කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්දින සංචිතය අනුමැතිය සඳහා ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු වෙත යවා ඇත.

එසේම, ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය තරඟාවලිය සඳහා ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් යුත් සංචිතයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඇෆ්ගනිස්ථානයේ ප්‍රමුඛතම දඟ පන්දු යවන්නා වන රෂීඩ් ඛාන් ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා නොකරන බවත්, එම අඩුව පිරවීමට දඟ පන්දු යවන ක්‍රීඩක කයිස් අහමඩ් සංචිතයට ඇතුළත් කර ඇති බවත් වාර්තා වේ.