February 6, 2024

මෙම වසරේ එතැයි අපේක්ෂිත ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පැවැත්වීම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇත.

ඊට හේතුවී තිබෙන්නේ, මෙම මැතිවරණ දෙක වෙනුවෙන්ම 2024 වසර සඳහා රජය වෙන්කර ඇත්තේ රුපියල් බිලියන 10ක් පමණක් වීමයි.

ඊයේ පැවැති කැබිනට් මණ්ඩල තීරණයක් දැක්වෙන්නේ 2024 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු මඟින් රුපියල් බිලියන 10ක් මෙම මැතිවරණ දෙක වෙනුවෙන් වෙන්කර ඇති අතර, අදාළ වියදම් එකී ප්‍රතිපාදන තුළ කළමනාකරණය කර ගැනීමට සිදුවන බවයි.

එම තීරණය මෙසේය.

“රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ, 2024 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු මඟින් රුපියල් බිලියන 10ක් මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් වෙන් කර ඇති බවත්, ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට අදාළ වියදම් එකී ප්‍රතිපාදන තුළ කළමනාකරණය කර ගැනීමට සිදු වන බවත් අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.”

කෙසේවෙතත් මැතිවරණ කොමිසම පසුගිය වසරේ මුදල් අමාත්‍යංශයෙන් කරන ලද ඉල්ලීමට අනුව පළාත් පාලන මැතිවරණයට පමණක් රුපියල් බිලියන 10ක පමණ ප්‍රතිපාදන අවශ්‍යව තිබේ.

ඒ අනුව, ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන ප්‍රධාන මැතිවරණ දෙකම පැවැත්වීමට දැන් රජය සූදානම් වන්නේ ප්‍රයෝගික නොවන රුපියල් බිලියන 10ක මුදලක් පමණක් ප්‍රතිපාදන වශයෙන් වෙන්කරමිනි.

42.31%
17.27%
32.76%