February 5, 2024

ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය විදුලි පාලන කුටිවල ට්‍රාන්ස්ෆෝමර්වලට යොදා තිබෙන භූගත වයර් කපා, ඒ තුළ තිබෙන තඹ කම්බි සොරාගත් 33 හැවිරිදි පුද්ගලයකු බොරැල්ල සරණපාල හිමි මාවතේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

සැකකරු විදුලි පාලන කුටි තුනකින් සොරාගෙන තිබූ රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා තඹ කම්බි තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

ඉකුත් මාස කිහිපය තුළ කොළඹ දිස්ත්‍රික්කය තුළ විදුලි පාලන කුටි කඩා රුපියල් කෝටියකට අධික වටිනා තඹ කම්බි සොරාගැනීම සම්බන්ධයෙන් විදුලි අධිකාරි මොහොමඩ් සාලි මොහොමඩ් උකාශ් විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙම තඹ කම්බි සොරාගැනීම හේතුවෙන් වරින් වර විදුලිය ඇනහිටීම, විදුලි ධාරිතාව ඉක්මවා ගොස් විදුලි උපකරණ විනාශ වීම ආදී ගැටලු රැසක් පැන නැගුණු බව ද විමර්ශන නිලධාරියෙක් පවසයි.

බොරැල්ල පොලිස් වසමේ කිතුල්වත්ත, ලේක් ඩ්‍රයිව් හා ගෝතමී පාර ප්‍රදේශවල විදුලි පාලන කුටි කඩා, සැකකරු සොරාගෙන තිබූ තඹ කම්බි දෙමටගොඩ ප්‍රදේශයේ ආයතනයකට තඹ බරට විකුණා, එයින් ලබාගත් සියලුම මුදල් මත්ද්‍රව්‍ය සඳහා වැයකර තිබූ බවද පොලිසිය සඳහන් කරයි.

සැකකරු බස්නාහිර දකුණු දිසාව අපරාධ කොට්ඨාසයට අත්අඩංගුවට පත්වූ දෙවැනි අවස්ථාව මෙය බවත්, මීට පෙර මෙවැනිම සොරකම් හයකට අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කර ඇප මත සිටින්නෙක් බවත්, පොලිසිය පාවසයි.

සැකකරු රාජගිරිය බණ්ඩාරනායකපුර පදිංචිකරුවෙකි.(ලංකාදීප)

42.31%
17.27%
32.76%