February 4, 2024

ශ්‍රී ලාංකික කුළුබඩු යොදා රසවත් කරගන්නා වූ ආහාරවල රස බැලීමට ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදේශිකයන් ද කැමැත්තක් දක්වන බව නොරහසක්. එම නිසාම බොහොමයක් රටවල ශ්‍රී ලාංකික නාමය ඉහළින්ම සනිටුහන් කරමින් අවන්හල් ඉදිකර තිබේ.

එහෙත් සිංගප්පූරුවෙහි බොහෝවිට දක්නට ඇත්තේ චීන සහ ඉන්දියානු ආහාර රටාවකට වැඩි නැඹුරුවක් සහිත අවන්හල් ය. එම හේතුවෙන් එරට සිටින ශ්‍රී ලාංකික ජනතාවට මෙරට ආහාර වේලක් ලබාගැනීම ඉතාමත් අසීරු කාරණයක් විය.

කෙසේවෙතත් එරට සිටින ශ්‍රී ලාංකික සැමටම සුබ ආරංචියක් ලබාදෙමින් පූර්ණ ලාංකේය කෑම වට්රෝරුවලින් සමන්විත ලාංකේය අවන්හලක් ‘Ceylonese Crabs’ නමින් පසුගිය 2 වැනිදා විවෘත විය.

සිංගප්පූරුවේ සිටිනා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් වන නුවන් බණ්ඩාර සිය ව්‍යාපාර ජාලය පුළුල් කරමින් ඉදිකළ මෙම නව අවන්හල සිංගප්පූරුවේ East cost Park හී පිහිටි Seafood Center හී Blk 1202 පිහිටා ඇත.

‘Ceylonese Crabs’ සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක සහභාගී විය. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිදුවූ ‘Ceylonese Crabs’ සමාරම්භයට ලාංකිකයෝ ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

මුළුමනින්ම ලාංකේය සැරසිළි සහ ගෘහ අලංකාර රටවන්ගෙ හැඩගැන්වී ඇති ‘Ceylonese Crabs’ හීදී ලාංකේය ආහාර පමණක් නොව දේශීය ගෘහ නිර්මාණ ශිල්පය, අත්කම් සහ ගෘහ අලංකරණ රටාවන් ගැනද අවබෝධයක් ලබාගැනීමට හැකියාව පවතී.

ශ්‍රී ලාංකිකයන් තරමටම විදේශිකයන් අතරද ‘Ceylonese Crabs’ ආහාර සඳහා ඉහළ ජනප්‍රිය බවක් හිමිබවත් ඇති බවත්, භූමීයේ මායිම් බිඳදමමින් ලාංකේය ආහාර කලාව ලෝකයට ගෙනයෑමට ‘Ceylonese Crabs’සමත්ව ඇති බවත් එහි හිමිකරුවෝ සඳහන් කරති.