February 4, 2024

දණ්ඩ නීති සංග්‍රහය යටතේ ලැයිස්තුගත කර ඇති වැරදි 68ක් සඳහා වන දඩ මුදල් සහ සිරදඬුවම් වැඩිකිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඇතැම් වැරදි සඳහා මීට පෙර පනවා තිබූ රුපියල් 100ක දඩ මුදල සැළකිවයුතු වැඩිකර ඇත.

මෙම වැරදි සඳහා දඩ මුදල් සහ සිරදඬුවම් වැඩිකිරීමට අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කළ සංශෝධන කෙටුම්පතට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රෙගුලාසි බලාත්මක වීමට පෙර සිදුකරන ලද වැරදි සඳහා මෙම සංශෝධිත දඩ සහ සිර දඬුවම් අදාළ නොවේ.

දැනට පවතින රෙගුලාසිවලට අනුව, ජීවිත හා දේපළ අනතුරේ හෙළන අයුරින් වාහනයක් පැදවීම හෝ නොසැළකිලිමත් ලෙස සතකු පිටයෑම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයකුට නියම කළ හැක්කේ මාස හයක සිර දඬුවමක් හෝ රුපියල් 100ක දඩයක් පමණි.

නව සංශෝධන මගින් නැවත නැවත එම වැරදි කරන්නන්ට දඬුවම් ලබාදීමේ ස්ථර 3ක් හඳුන්වා දෙනු ඇත.

ඒ අනුව පළමු වරද සඳහා රුපියල් 25,000ට නොඅඩු සහ රුපියල් 50,000 නොඉක්මවන දඩයක් නියම කෙරේ.

දෙවැනි වරද සඳහා රුපියල් 30,000ට නොඅඩු සහ රුපියල් 75,000 නොඉක්මවන දඩයක් නියම කළ හැකි අතර, වැරදිකරුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවනු ලැබේ.

තුන්වැනි වරද සඳහා රුපියල් 75,000කට නොඅඩු දඩයක් හෝ මාස හයක සිරදඬුවමක් හෝ වරදකරුට එම දඬුවම් දෙකම පනවනු ලැබේ.

රියදුරු බලපත්‍රය ද අවලංගු කෙරේ.

නව නීති යටතේ ආහාර හෝ බීම හෝ විකිණීමට අදහස් කරන ඕනෑම ඖෂධයකට හෝ මිශ්‍ර කිරීමක් සඳහා වන දඩ මුදල රුපියල් 100 සිට රුපියල් 100,000 දක්වා වැඩි කෙරේ.

යෝජිත සංශෝධන යටතේ ඡන්ද උදෙසා අල්ලස් දීමේ දඩය රුපියල් 500 සිට රුපියල් මිලියන 1 දක්වා වැඩිකෙරේ.

42.31%
17.27%
32.76%