February 4, 2024

මහජන බැංකුව විසින් බිලියන 54ක මුදලක් බොල් ණය ලෙස කපාහරිමින් ආණ්ඩුවට සම්බන්ධ ව්‍යාපාරිකයන් සහ දේශපාලකයන් කිහිපදෙනකුට අයුතු වාසියක් සපයා ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මහජන බැංකුව ප්‍රතිචාර දක්වා තිබේ.

මෙම චෝදනාව එල්ලවීමත් සමඟ ගනුදෙනුකරුවන් පවා දැඩි කණස්සල්ලට පත්ව ඇති බව එම බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අයකිරීම්) ඒ.යූ.එල්.ඒ.අන්සාර් පවසයි.

මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණු මත පදනම්ව සමාජ මාධ්‍යය ඔස්සේ ගොතන ලද පුවතක් බව ඔහු සඳහන් කරයි.

මහජන බැංකුව කිසිදු අවස්ථාවක එවැනි බොල් ණය කපාහැරීමක් සිදුකර නොමැති බවද හෙතෙම අවධාරණය කරයි.

ණය ලබාගැනීමේදී සියලුම ගැනුම්කරුවන්ට සමාන නීතියක් ක්‍රියාත්මක වන බවත්, අත්සන් තබන ලද ගිවිසුමට අනුකූල ලෙස ණය පොළී හෝ වාරික ගෙවීම පැහැරහැරියහොත් ඒ සම්බන්ධයෙන් අදාළ නීතිමය කටයුතු සිදුකිරීමට මහජන බැංකුව කටයුතු කරන බව ද ඔහු සඳහන් කරයි.

මේ අතර, තරගකාරී මූල්‍ය වෙළඳපොළ තුළ කීර්තිනාමයක් දිනා සිටින මහජන බැංකුවේ කීර්තිනාමය මෙවැනි අසත්‍ය කටකතා තුළින් බිඳදැමිය නොහැකි බව මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) වික්‍රම නාරායන සඳහන් කරයි. ඒ පසුගියදා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමිනි.

පසුගිය කාලය තුළ ඇතිවූ කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුධය හමුවේ ඇතැම් ණය හිමියන් පැමිණ බැංකුව සමග සාකච්ඡා කර ගෙවීමට ඇති ණය, පොළී වාරිකයන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට පියවර ගත් බවත්, එය පොදුවේ සියලු ගනුදෙනුකරුවන්ට ලබාදුන් අවස්ථාවක් බවත් සඳහන් කළ හෙතෙම, ඇතැම් පිරිස් මෙම කරුණු විකෘති කරමින් කටයුතු කිරීම පිළිබඳ දේශීය බැංකුවක් ලෙස මහජන බැංකුව දැඩි කණස්සල්ල සහ අප්‍රසාදය පළකරන ප්‍රකාශ කරයි.