February 3, 2024

ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය සියලු ලෝකවාසී බෞද්ධයන් ජීවිතයේ එක්වරක් හෝ වැදපුදාගත යුතු බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවැසීය.

එසේම ලෝකවාසී බෞද්ධ ජනතාවට පැමිණ එම සිද්ධස්ථාන වැඳපුදා ගන්නා ලෙසට තමා ආරාධනය කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළකලේ අනුරාධපුර අටමස්ථානය වැදපුදා ගැනීමට ගිය අවස්ථාවේදී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මෙසේද පැවැසීය.

“ශ්‍රී ලංකාවේ අනුරාධපුර ඓතිහාසික පුරවරයේ මධ්‍යයේ පිහිටි අටමස්ථානය වන ජය ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය, ථූපාරාම සෑය, ලෝවාමහාපාය, අභයගිරි ස්ථූපය, ජේතවනාරාම ස්ථූපය, මිරිසවැටි ස්ථූපය, ලංකාරාම ස්ථූපය ඇතුළු සන්ධිස්ථාන ආධ්‍යාත්මික වැදගත්කමකින් යුක්තයි. ලෝකයේ නන් දෙසින් පැමිණෙන බෞද්ධ බැතිමතුන් වැඳපුදාගත යුතුම ස්ථානයක් ලෙස අටමස්ථානය නම්කරන්න පුළුවන්.”

ඉපැරණි රාමායණය වීර කාව්‍යයේ මංපෙත් ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන බොහෝ හින්දු බැතිමතුන්ද අනුරාධපුරයට පැමිණෙන බවත්, විශේෂයෙන් බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වූ පුරාණ භාරතයේ සිට ලංකාවට ගෙන ආ ඓතිහාසික බෝධි අංකුරය වන ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදා ගැනීමට පැමිණෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී මහා බෝධිය යනු මිනිසුන් විසින් රෝපණය කරන ලද ලොව පැරණිතම වෘක්ෂය බවත් නාමල් රාජපක්ෂ පැවැසීය.

අපගේ හවුල් උරුමයන් හරහා අනුරාධපුරය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමීපව බැඳී තිබෙන බවත්, ආධ්‍යාත්මික මෙන්ම සංස්කෘතිකමය වටිනාකමක් ඇති ඓතිහාසික අනුරාධපුර අටමස්ථානය යනු ලොවපුරා වෙසෙන ලෝකවාසී බෞද්ධ ජනතාව ඇතුළු ලෝකයේ සියලු ජනතාව වැඳපුදාගත යුතු ස්ථාන බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.

42.31%
17.27%
32.76%