42.31%
17.27%
32.76%
February 2, 2024

ලෝක තෙත් බිම් දිනයදා ඒවා සංරක්ෂණය කිරීමේ වගකීම පසෙකලා ජාතික වශයෙන් අතිශය වැදගත් වටිනාකම් සහිත උතුර නැගෙනහිර පිහිටි තෙත් බිම් දෙකක් විනාශ කිරීමට බලධාරීන් මේ වනවිට පිඹුරුපත් සකසමින් සිටින්නේ යැයි ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන පවසයි.

‘මව්බිම පුවත්පත’ වාර්තා කරන ආකාරයට වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය හා ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානය මේ අයුරින් විනාශ කිරීමට ආණ්ඩුවේ වගකිව යුතු පාර්ශ්ව සැලසුම් කරමින් සිටින බවටද ඔහු චෝදනා කර තිබේ.

එම තෙත් බිම් දෙක වාණිජ්‍යමය සහ සංවර්ධන කටයුතු සඳහා නිදහස් කර හැරීමට ඔවුන් කටයුතු කරමින් සිටින්නේ යැයිද හෙතෙම පවසයි.

වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය ජලජීවී වගාවක් සඳහා නිදහස් කිරීමට මේ වනවිට සැලසුම් කොට ඇති බවද ඔහු සඳහන් කරයි.

පසුගිය 2017 වර්ෂයේ සිටම මේ අයුරින් එම තෙත් බිම ජලජීවී වගාවක් පවත්වාගෙන යෑම සඳහා නිදහස් කිරීමට වරින් වර උත්සාහ දැරුවද පරිසරවේදීන්ගේ විරෝධය හේතුවෙන් එම කටයුත්ත ව්‍යාර්ථ වූ බවද ආචාර්ය ජගත් ගුණවර්ධන පවසයි.

ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානය සතු දූපත් කිහිපයක් මේ වනවිට වාණිජ්‍යමය හෝ සංවර්ධන කටයුත්තක් සඳහා යෙදවීමට සැලසුම් කරමින් සිටින බවට තොරතුරු ඇති බවට ඔහු චෝදනා කරයි.

එම තෙත් බිම ආශ්‍රිතව පසුගිය 2012 වසරේදී ‘ලංකා කුරුලු සංගමය’ සිදුකළ සමීක්ෂණයකදී ලොව දෙවැනියට එක් ස්ථානයට වැඩියෙන්ම රැස්වන සංක්‍රමණික පක්ෂි ප්‍රමාණය වාර්තා වූ බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%