February 1, 2024

අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්නගේ ‘දූෂිත ක්‍රියා’ වැළැක්වීමට පියවර ගත් ගම්පොළ, උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරිය මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදිස්ථාන මාරු කර ඇතැයි වාර්තා වේ.

ඔහු විසින් මෙම ස්ථාන මාරු කිරීම සිදුකර ඇත්තේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්නගේ උපදෙස් පරිදිය.

ගම්පොළ ,උඩපලාත ප්‍රාදේශීය ලේකම්වරිය වන A.D. ජයරත්න විසින් මහනුවර දිස්ත්‍රික් ලේකම් වෙත යවන ලද 2023 දෙසැම්බර් 22 දිනැති ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්නගේ දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.

එම ලිපියේ පිටපත් ජනාධිපති ලේකම් සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් වෙත ද යොමුකර තිබිණි.

එම ලිපිය ලැබුණු වහාම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්ගේ (ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ සහ අධීක්ෂණ අංශය) උපදෙස් මත බී.ජී.ජී. මිලින්ද, ජනාධිපති අතිරේක ලේකම් ෆලීල් ඒ මුබාරක් යන දෙදෙනා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්නට උපදෙස් දී තිබුණේ උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරිය නගා ඇති චෝදනා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ එම නියෝග ක්‍රියාවට නැංවීම වෙනුවට අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න සිදුකර තිබුණේ 2024 ජනවාරි 26 වැනි දිනැති ලිපිය(පරි. එච්.ඒ./02/30/02/04/51) මගින් අදාළ ප්‍රාදේශීය ලේකම්වරිය වහාම අමාත්‍යංශ සංචිතයට මාරුකරන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්ට උපදෙස් ලබාදීමයි.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර ප්‍රකාශකයකු සඳහන් කළේ, ගම්පොළ ,උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරිය රාජකාරිය ඉටුකිරීමේදී කිසිවකුට යටත් නොවන සෘජු නිලධාරිනියක වන අතර, චෝදනා එල්ල වී ඇති රාජ්‍ය ඇමැතිවරයාගේ උපදෙස් මත අවස්ථා ගණනාවකදී ගම්පොළ පොලිස් ස්ථානාධිපතිවරයාගේ හිරිහැරවලට පවා ඇය ලක්ව ඇති බවයි.

වාර්තා වන පරිදි රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්නට එරෙහිව පරීක්ෂණයක් ඉල්ලා මාසයකට වැඩි කාලයක් ගත වී තිබුණ ද දිස්ත්‍රික් ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් නිහඬව සිටින බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් සඳහන් කළේ පරීක්ෂණ පැවැත්වෙන බැවින් ඒ පිළිබඳ අදහසක් ප්‍රකාශ කළ නොහැකි බවයි.(Daily Mirror)

42.31%
17.27%
32.76%