February 1, 2024

රජය සද්භාවයක් පෙන්වීමට සහ ඵලදායී සාකච්ඡා පැවැත්වීමට අපොහොසත් වුවහොත් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන අරමුදල්වල මීළඟ වාරිකය අත්හිටුවීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල(IMF) පොළඹවා ගැනීමට හැකි සෑම දෙයක්ම කරන බවට පෞද්ගලික ණයහිමියන් තර්ජනය කර ඇති බව වාර්තා වේ.

චීනය ඇතුළු ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ රජය පුළුල් ලෙස සාකච්ඡා කරමින් සිටින අතර, පෞද්ගලික ණයහිමියන් සමඟ එවැනි සාකච්ඡා පවත්වා නොමැති බව පෞද්ගලික ණය හිමියන් පිරිසකට සමීප ආරංචි මාර්ග පවසයි.

“පෞද්ගලික ණය හිමියන්ගේ විශාලත්වය ඉතා වැදගත්. ශ්‍රී ලංකාවට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ හෝ චීනයේ මුදල් මත පමණක් විශ්වාසය තැබිය නොහැකියි ” යනුවෙන් ඔවුන් ප්‍රකාශ කර තිබේ.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් පසුගියදා පවසා තිබුණේ, මීළඟ සමාලෝචනයට පෙර බැඳුම්කර හිමියන් සහ චීන සංවර්ධන බැංකුව ඇතුළු වාණිජ ණය හිමියන් සමඟ ශ්‍රී ලංකාව ගිවිසුමක් ඇතිකර ගනු ඇතැයි IMF අපේක්ෂා කරන බවයි.

වාර්තා වන පරිදි පෞද්ගලික ණය හිමියන් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ රජය ඔවුන් සමඟ සක්‍රීයව සම්බන්ධ නොවන්නේ නම්, ශ්‍රී ලංකාව සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මීළඟ සමාලෝචනය සහ වාරිකය අවහිර කිරීමට පෞද්ගලික අංශය ලෙස “තමන්ට හැකි සෑම දෙයක්ම” කරන බවයි.

“පෞද්ගලික ණයහිමියන් විශ්වාස කරන්නේ ශ්‍රී ලංකා බලධාරීන් ඔවුන් සමඟ කතා කරවීමට ඇති එකම ක්‍රමය එය බවයි,” එම ණය හිමියන්ට සමීප ආරංචි මාර්ග පවසා ඇත.

පෞද්ගලික ණය හිමියන් කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන ප්‍රවේශය පිළිබඳ අතෘප්තිය පළකරන ණයහිමියන්, මෙමගින් අන්තර්ජාතික ප්‍රාග්ධන වෙළෙඳපොළ සමඟ ශ්‍රී ලංකාවේ විශ්වසනීයත්වය බිඳීයනු ඇති බව පෙන්වාදී තිබේ.

එක් ආරංචි මාර්ගයකින් වාර්තා වූයේ, ශ්‍රී ලංකාවට කොන්ත්‍රාත්තුවක් යටතේ පවතින ණය බැඳීම් ඇති බැවින් ඒවා පැහැර හැරියහොත් නඩු පැවරීමක් සිදුවනු ඇති බවයි.

ශ්‍රී ලංකාවට සද්භාවයෙන් සම්බන්ධවීමට ඉඩක් ලබාදීමේ ක්‍රියාවලියේදී පෞද්ගලික ණය හිමියන් “ආචාරශීලී” ලෙස ක්‍රියා කර ඇති නමුත් රජයෙන් එවැනි මැදිහත්වීමක් නොමැති නම් වෙනත් විකල්ප දෙස බැලිය යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.

“සියල්ලෝම මේ ක්‍රියාවලිය ආරම්භ කළේ නව ජනාධිපතිවරයාට (රනිල් වික්‍රමසිංහ) පසුගිය පාලනයට වඩා හොඳින් දේවල් කළ හැකි යැයි බලාපොරොත්තුවෙන්. බොහෝ බලාපොරොත්තු තිබුණත් දැන් ඒවා බලාපොරොත්තු සුන්වීමක් බවට පත්වෙමින් තිබෙනවා” යන්න ඔවුන්ගේ අදහස වී ඇත.

දේශීය දේශපාලනය සහ ඉදිරි මැතිවරණ හේතුවෙන් පෞද්ගලික ණය හිමියන් සමඟ ගනුදෙනු කිරීමේදී ශ්‍රී ලංකාව ඉතා මන්දගාමී වේගයකින් ගමන් කරන බවට පෞද්ගලික ණය හිමියන් කණස්සල්ල පළකර තිබේ.

“සමහර විට විවේචනයට ලක්වේ යැයි බියෙන් පෞද්ගලික ණය හිමියන් සමඟ ගනුදෙනුවක් කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍ය නැතුව ඇති,”යැයි ණය හිමියන් සළකන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේවෙතත් මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පැවසුවේ, මේ සම්බන්ධයෙන් රජයේ උපදේශකයන් බැඳුම්කර හිමියන්ගේ උපදේශකයන් සමඟ සමීපව කටයුතු කරන බවයි.

බැඳුම්කර හිමියන් සහ වාණිජ ණය හිමියන් ඇතුළු සියලුම ණය හිමියන්ට ප්‍රයෝජනවත් වන ණය විසඳුමක් හැකි ඉක්මනින් අවසන් කිරීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය බව ඔහු පැවසීය.

“බැඳුම්කර හිමියන් අපට ඉතා වැදගත්” රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

ප්‍රමාදයක් සිදුවුවහොත් ශ්‍රී ලංකාවේ සන්නිවේදනය කඩිනම් කරන බවට රජය සහතික වන බව ද ඔහු පැවසීය.

 

42.31%
17.27%
32.76%