January 31, 2024

මෙතක් බිහි වූ නායකයන් දිගින දිගටම පැවසුවේ උදා වී ඇත්තේ රට බේරාගැනීමේ අවසන් අවස්ථාව බව වන නමුත්, සත්‍ය වශයෙන්ම දැන් උදා වී ඇත්තේ ජනතාව බේරා ගැනීමේ අවසන් අවස්ථාව බවත්, ඒ සඳහා හැකියාව පවතින එකම නායකයා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණක් බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පැවසීය.

මීට වසර දෙකකට පෙර රටේ පැවති දරුණු ආර්ථික අර්බුදයෙන් රට මුදාගැනීමට හැකිවූයේ, ජනතාව බේරාගැනීම උදෙසා ජනාධිපතිවරයා කටයුතු කළ නිසා බවද හෙතෙම සඳහන් කළේය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කළ ජයගමු ශ්‍රී ලංකා ජංගම සේවා වැඩසටහනේ සම්රම්භක උත්සවය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී අද (31) ආරම්භ වූ අවස්ථාවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

මෙම වැඩසටහනේදී විදේශ රැකියා සඳහා වෘත්තීය පුහුණු අවස්ථා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, ශ්‍රම බලකායේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරන ගරුසරු වැඩසටහනද පැවැත්විණි.

මේ අතර, ජනතාවට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් සහ සේවක අර්ථ සාධක අරමුදල් සම්බන්ධයෙන් වූ ගැටලු සඳහා විසදුම් ලබාගැනීම සඳහා විශේෂ සේවාවන්ද මෙහිදී සපයනු ලැබීය.

ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කරමින් ඇමැතිවරයා, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂ, විපක්ෂ සියලුම මහජන නියෝජිතයන් එක් කරගනිමින් ජාතික ධජය එසවීමටද කටයුතු කළේය.

ඇමැතිවරයා එහිදී මෙසේද පැවැසීය.

“ජයගමු ශ්‍රී ලංකා කියන්නේ ජංගම සේවයක් නෙමෙයි, ප්‍රතිපදාවක්. අද මේ ජයගමු ශ්‍රී ලංකා කියලා ජනගත කරන්නේ මේ රට ආර්ථික වශයෙන් ඉහළට ඔසවා තබන ප්‍රතිපදාව. මේක ආරම්භ කරන්න කලින් අපිට පෙරහුරුවක් වුණේ අපි කරපු මෙවැනිම වැඩසටහන්. මෙවැනිම වැඩසටහන් දෙකක් අපි ගාල්ලේ හා යාපනයේ කළා. ඒකේ ගාල්ලේදී මම කතාව පටන් ගත්තේ මට ප්‍රතිපත්තියක් නැහැ කියලයි. මම කිව්වේ මට තියෙන්නේ ප්‍රතිපදාවක් කියලයි. ප්‍රතිපත්තිවලට ඡන්දේ දීලා තමයි අපේ රට මේ තියෙන තත්වයට පත්වුණේ. හැබැයි මට හැමදාම තිබුණ ප්‍රතිපදාව තමයි. ජනතාවට ජයග්‍රහණය ගෙන එන අවස්ථාවන් වෙනුවෙන් තමයි මම පෙනීසිටියේ. මම අද පෙනීඉන්නේත් මේ රටේ අනාගතය ජයගන්න පුළුවන් නායකත්වය වෙනුවෙන්.
ඔබට මතක ඇති මීට අවුරුදු දෙකකට කලින් තිබුණ තත්වය. මේ රට ආර්ථික බංකොලොත්භාවයට පත්වුණු මුල් අවස්ථාවේදී තිබුණ තත්වය. ඒ වෙලාවේ ඔය හොඳයි කියලා කියන ප්‍රතිපත්ති තියෙන හැමෝම මේ රට භාරගන්න බෑ කියලා කිව්වා.

අද තියෙන තත්වයට හරි මේ රට ඇවිත් තියෙන එක ආශ්චර්යයක්. මේ රට මේ තත්වයට හරි අරගෙන එන්න පුළුවන් තත්වයක නෙමෙයි තිබුණේ. වර්තමාන ජනාධිපතිතුමා රට භාරගත්තේ ඒ වගේ වෙලාවක. මම මෙහෙමයි කළේ, මම මෙහෙමයි රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කළේ, ඒ අය මට ඡන්දය දුන්නේ නෑ, මම ගම්පෙරළියට මෙච්චර මුදලක් වෙන් කළත් මට ඡන්දය දුන්නේ නෑ, 1990 ගිලන්රථ සේවය රට පුරාම ක්‍රියාත්මක කළත් මට ඡන්දය දුන්නේ නෑ, කියලා ප්‍රතිපත්තියක හිටියනම් රටට මේ තත්ත්වයට එන්නේ නැහැ. එතුමා ප්‍රතිපදාවක ඉන්න නායකයෙක්. මම මේ ඓතිහාසික අනුරාධපුරයේ ඉදගෙන කියන්නේ ඒ කතාවයි. රනිල් වික්‍රමසිංහ කියන්නේ ප්‍රතිපත්තියක් නැති, ඒත් ප්‍රතිපදාවක් ඇති නායකයෙක්.
ප්‍රතිපත්ති වෙනස් වෙනවා. හැබැයි ප්‍රතිපදාවන් වර්ධනය වෙනවා. ඒක ඔහුගේ දේශපාලන ජීවිතයේ මුල් කාලයේ පටන් ඔහු ඉදිරිපත් කළ වැඩපිළිවෙලවල්වල දකින්න පුලුවන්.

එතුමා ජනමතයට ගරු කළ නායකයෙක්. ජනතා කැමැත්තට හැම වෙලාවකම හිස නමලා බැහැලා ගියපු නායකයෙක්.
හැමෝම කිව්වේ මේ තියෙන්නේ රට බේරාගන්න තියෙන අන්තිම අවස්ථාව කියලයි. ඒත් දැන් උදාවෙලා තියෙන්නේ ජනතාව බේරාගන්න තියෙන අන්තිම අවස්ථාව.ජනතාව බේරාගන්න පුලුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ විතරයි කියලා මම කියනවා.”

42.31%
17.27%
32.76%