January 31, 2024

අධිකරණ නියෝගය නොතකා සමගි ජන බලවේග විරෝධතාවයට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරිමට නියෝග දුන් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට, නීතියට සහ අධිකරණ තීන්දුවට ගරු නොකළ පොලිස් නිලධාරීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවැසීය.

අද (31) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මේ බව සඳහන් කළේය.

සමගි ජන බලවේග විරෝධතාවයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායම ඉලක්ක කර කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බවත්, රටේ විපක්ෂ නායකවරයාටවත් දේශපාලනය කිරිමේ අයිතිය වර්තමාන ආණ්ඩුව නැති කර තිබෙන බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණවලට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නියෝග ලබාදුන්නේ නැති නමුත් සමගි ජන බලවේගයේ උද්ඝෝෂණවටල අනීතිකව පහරදෙන බවත් මන්ත්‍රීවරයා එහිදී පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය

‘‘රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන්න ඊයේ දිනයේදී කොළඹට විශාල පිරිසක් එක්වුණා. ඒ විරෝධතාවය ඉතා සාර්ථික එකක් වුණා. ඒ විරෝධතාවයට බයවුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ටිරාන් අලස්ගේ පොලිසිය යොදවලා ම්ලේච්ඡ විදිහට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා. සමගි ජනබලවේගයේ පාක්ෂකයන් කිහිපදෙනෙකුට මේ නිසා රෝහල්ගත වීමට සිදුවුණා. කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරලා මේ විරෝධතා නවත්වන්න බෑ.

විරෝධතාවයට එරෙහිව අධිකරණයට ගොස් තහනම් නියෝග ගැනීමට පොලිසිය කටයුතු කරලා තිබුණා. විරෝධතාවයට එරෙහිව තීන්දුව ගන්න කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කුරුදුවත්ත පොලිසිය ගිය වෙලාවේ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබුණේ විරෝධතා පවත්වන්න, ජනමතය ප්‍රකාශ කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවස්ථාව තිබෙන බව. ඒ නිසා විරෝධතාවයට තහනම් නියෝගයක් නිකුත් කරන්න නොහැකි බව කොටුව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කරලා තිබුණා. එසේ තිබියදී අනීතිකව පොලිසිය පැමිණ කුරුදුවත්ත පොලිස්බල ප්‍රදේශයේදී සමගි ජන බලවේගයේ පාක්ෂිකයන්ට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා. විරෝධතා කරන්න අයිතිය තිබෙන බව අධිකරණය පවසනවා. නමුත් පොලිසිය එය වළකනවා.

පොලිසිය භාර ඇමැති ටිරාන් අලස්ටත්, නීතියට ගරු කරන්නේ නැති, අධිකරණ තීන්දුවට ගරු කරන්නේ නැති පිරිස වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනවා. සමගි ජන බලවේගයේ පාක්ෂිකයන්ට , විහාරමහා දේවි උද්‍යානයට පැමිණි පිරිසට, මහජන පුස්තකාලයට පැමිණි පිරිසට කදුලු ගෑස් ප්‍රහාර පොලිසිය විසින් එල්ල කරලා තිබුණා. මැර හමුදාම යොදවා රනිල් රාජපක්ෂ ආණ්ඩුවට පැමිණෙන විරෝධය මර්දනය කරන්න උත්සහ කරනවා. නීතිය අනුව කටයුතු කරන ලෙස ආරක්ෂක අංශවලට දැනුම් දෙනවා. අනීතිකව කටයුතු කළොත් අධිකරණයේදී උත්තර දෙන්න සිදුවෙයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ විපක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායම ඉලක්ක කරලා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා. රටේ විපක්ෂ නායකවරයාටවත් දේශපාලනය කිරිමේ අයිතිය නැති කරලා තිබෙනවා.”

42.31%
17.27%
32.76%