January 31, 2024

ලංකා ගමනාගමන මණ්ඩලයේ(ලංගම) බස් රථවල මාසික වාර ප්‍රවේශ පත්‍රය හෙවත් සීසන් භාවිත කිරීමට පාසැල් නිල ඇඳුමින්ම සිටීම අත්‍යවශ්‍ය නොවන බව ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.

මැල්සිරිපුර, කෝන්ගොල්ල, පදිංචි කේ.ඒ.පී.ආර්.කුරුවිට නම් පුද්ගලයා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් කළ විමසීමකට එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ධාවන විසින් ඒ බව ලිඛිතව දැනුම් දී ඇත.

ඒ අනුව පාසල් වාර ප්‍රවේශපත්‍රයක් වලංගුවීමට අදාළ වාර ප්‍රවේශය හිමි සිසුවා පාසල් නිල ඇඳුමින් සිටිය යුතු බවට නීතියක් පනවා නොමැති බව ඔහු දැනුම් දී තිබේ.

එසේම නිල ඇඳුමින් සිටින සිසුන්ට පමණක් පාසල් වාර ප්‍රවේශපත්‍රයෙන් යෑමට ඉඩ දිය යුතුයැයි ශ්‍රී ලංගමය විසින් කිසිදු ඩිපෝවකට දැනුම්දී නොමැති බව ද ඔහු සඳහන් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද සිය මුහුණු පොතේ මේ සම්බන්ධ දැනුවත් කිරීමක් සිදුකරමින් සටහනක් යොදා ඇත.

42.31%
17.27%
32.76%