January 30, 2024

මැතිවරණ කාලයක් ආසන්න වෙත්ම බුදුවරු, බෝසත්වරු යැයි කියාගත් පුද්ගලයන් මතුවන ස්වරූපයක් රටේ දක්නට ලැබෙන බවත්, මේවාට මුළානොවී ජනතාව නිවැරැදි මාවතට යොමුකිරීම සඳහා මහා සංඝරත්නයට සුවිශාල කාර්යභාරයක් පැවරෙන බවත් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක හිමියෝ පවසති. පසුගිය කාල වකවානුව දෙස බැලීමේ දී මේ ආකාර එක් එක් උවදුරු මැතිවරණ කාලයක් ආසන්න වනවිට රටට ‘පාත්වන’ ස්වරූපයක් දක්නට ලැබෙන්නේ යැයි ද උන්වහන්සේ කීහ.

පොල්ගොල්ල බෝධිමල්කඩ විහාරස්ථාන දහම් පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට පාසල් පොත් බෙදාදීමේ වැඩසටහනකට පෙරේදා (29) එක් වෙමින් මහනාහිමියෝ මේ බව පැවසූහ. භික්ෂූන් වහන්සේ නිර්දය ලෙස විවේචනය කරමින් උන්වහන්සේලාට නොයෙක් ආකාරයෙන් අපහාස කිරීමේ වැඩපිළිවෙළක් රටේ ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත්, බෞද්ධ ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවත් ඤාණරතන මහනාහිමියෝ අවධාරණය කළහ. මත් උවදුරින් රට මුදාගැනීම සඳහා මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සහ වැඩ බලන පොලිස්පතිවරයා විශේෂ උනන්දුවකින් කටයුතු කරන බවත්, එය අවසානයක් කරා ගෙනයෑමට ඔවුන්ට කාගේත් සහය ලැබිය යුතු බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

මේ වනවිට පාසල් දරුවන් පවා මත් උවදුරට ගොදුරු වෙමින් තිබෙන බවත්, ඉන් රට මුදාගැනීම ජාතික අවශ්‍යතාවක් බවත් මහනාහිමියෝ පැවසූහ. පාතාලය ඇතුළු නොයෙකුත් සමාජ විරෝධී ක්‍රියා කරන බොහෝදෙනෙකු දේශපාලනඥයන් ඇසුරේ පසුවන්නන් බවත් ඔවුන් විසින් සිදු කරන සමාජ විරෝධී ක්‍රියාවන්ට අදාළ වගකීමෙන් දේශපාලනඥයන්ට නිදහස්වීමට නොහැකි බවත් උන්වහන්සේ අවධාරණය කළහ. සමාජ විරෝධී ක්‍රියාවන්හි නිරත බහුතරයක් දෙනා දහම් අධ්‍යාපනයක් තබා භික්ෂු ඇසුරක් නොලැබූ අය බවත් පාසල්වල අද සතියකට බෞද්ධාගම උගන්වනු ලබන්නේ කාල පරිච්ඡේද දෙකක් පමණක් බවත් පැවසූ මහනාහිමියෝ දරුවන් දහම් පාසල් වෙත යොමුකිරීමට මවුපියන් උනන්දු විය යුතු යැයි ද කීහ. (දිනමිණ)

42.31%
17.27%
32.76%