January 27, 2024

නියුමෝනියාව වැළඳී මියගිය බවට වෛද්‍යවරුන් නිගමනය කිරීමෙන් පසුව ආදාහනයට යොමුකර ආදාහනාගාරයේ දැවෙමින් තිබූ කාන්තාවකගේ දේහයක් ඒ ස්ථානයෙන් ඉවත්කරගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා වතුපිටිවල රෝහලට රැගෙන යෑමේ සිද්ධියක් මීරිගමින් වාර්තාවේ.

මෙම මරණය සැකසහිත බවට ඥාතීන් පැවැසීම හේතුවෙන් මෘත දේහය පරීක්ෂණ සඳහා මෙසේ නැවත රැගෙන ගිය බව මිරිගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මිරිගම සෙත් සෙවණ වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි ආර්. ඩී. සිරිසෝමා රණසිංහ නමැති 81 හැවිරිදි කාන්තාවකි.

වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක බව කියන මෙම කාන්තාව ඇගේ සමීප ඥාතියකු විසින් මාස හය හතකට පමණ පෙරදී වැඩිහිටි නිවාසයට බාරකරනු ලැබූ බව පොලිසිය පවසයි.

වැඩිහිටි නිවාසයේ සිටි කාන්තාව රෝගාතුර වීමෙන් පසු මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මරණයට පත් වී ඇතැයිද තිවුමෝනියා රෝගී තත්වය නිසා මරණය සිදුවි ඇති බව වෛද්‍ය නිගමනය වි ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

භාරකරුට දැනුම්දීමෙන් පසු ඔවුන් නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශයේ මල් ශාලාවක මාර්ගයෙන් දේහය ආදාහනය කිරීමට කටයුතු කර ඇති බවත්, ඒ අතර මියගිය කාන්තාවගේ ඥාතියකු මෙම මරණය සැකසහිත බවට ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට කළ පැමිණිල්ලක් අනුව වැඩිදුර පරීක්ෂණයක් පැවැත්වීමට පොලිසිය පියවර ගෙන ඇත.

දේහය මීරිගම ආදාහනාගාරයේ ආදාහනය කරමින් තිබියදී මීරිගම හදිසි මරණ පරීක්ෂක තුසිත ප්‍රමෝද් විජයවර්ධන සහ මිරිගම පොලිසිය පැමිණ ආදාහන කටයුතු නවතා දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා වතුපිටිවල රෝහලට ගෙන යැමට පියවර ගෙන ඇත.

වතුපිටිවල රෝහලේදී කළ මරණ පරීක්‍ෂණය සම්බන්ධයෙන්ද ඥාතීන් සෑහීමකට පත්නොවීම හේතුවෙන් පිලිස්සුණු මළ සිරුරේ කොටස් රස පරීක්ෂකවරයාට යැවීමට කටයුතු කර ඇතැයි පොලිසිය සඳහන් කළේය.

පිළිස්සුණු දේහය තව දුරටත් වතුපිටිවල රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇත.(ලංකාදීප)

42.31%
17.27%
32.76%