January 25, 2024

තිස්සමහාරාම පොලිස් වසමේ දී පෞද්ගලික මගී බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන්සිදුවූ රිය අනතුරකින් තරුණ පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තිස්සමහාරාම සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික මගී බස් රථයක් ඊයේ (24) පස්වරුවේ අපරික්ෂාකාරී ලෙස ට්‍රැක්ටරයක් ඉස්සර කිරීමට මාර්ගයේ ද්විත්ව රේඛාව හරහා ගොස් ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

කතරගම – තිස්සමහාරාම මාර්ගයේ පුංචි අකුරේගොඩ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු දෙබරවැව රෝහලට ගෙන ගොස් ඇති අතර,ඔහු ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ.

මියගොස් ඇත්තේ කතරගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ 22 හැවිරිදි කොස්තාපල්වරයෙකි.

ඔහු වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මේ අතර, නොසැළකිලිමත් ලෙස රිය ධාවනය කිරීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් 39 හැවිරිදි පෞද්ගලික මගී බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

42.31%
17.27%
32.76%