January 25, 2024

දැඩි ලෙස ඉහළ ගිය එළවළු මිල පහත හෙළීම සඳහා එළවළු ආනයනය කිරීම පිළිබඳ අදහසක් ඉදිරිපත් වී තිබුණ ද ඒ පිළිබඳ පවතින ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

උද්ධමනය හේතුවෙන් පීඩාවට පත් මහජනතාවට අඩු හෝ සහනදායී මිලකට අලෙවි කිරීමට එළවළු ආනයනය කිරීම පිළිබඳ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු පසුගිය දිනෙක සඳහන් කර තිබුණේ එළවළු ආනයනය කරන්නේ නම් කැරට්, බෝංචි, ලීක්ස් වැනි එළවළු කිලෝවක් රුපියල් 300 සිට රුපියල් 350 අතර මිලකට ජනතාවට ලබාදිය හැකි බවයි.

පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ප්‍රතිපත්ති රැස්වීමේදී මේ පිළිබඳ සාකච්ඡා වී තිබේ.

එළවළු ආනයනයේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන ප්‍රධාන ආයතන කිහිපයක් එම යෝජනාවට අදාළ ප්‍රායෝගික දුෂ්කරතා එහිදී පෙන්වා දී ඇත.

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් A.M.P.M.B. අතපත්තු සඳහන් කළේ එම රැස්වීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ නිරෝධායන ඒකකයේ සහ ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූ බවයි.

ශාක නිරෝධායනයට අදාළ තක්සේරු කිරීම් සහ අනුමැතිය ක්‍රියාත්මක වීමට අවම වශයෙන් මාසයක කාලයක් ගතවන බැවින් එළවළු ආනයනය කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම දුෂ්කර කාර්යයක් බව රැස්වීමේදී පෙන්වා දී ඇත.

එබැවින් එවැනි සැලැස්මක් වහා ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නොවන බව රැස්වීමේ දී නිගමනය වී තිබේ.

මෙම රැස්වීම් අඛණ්ඩව සිදුවේද එසේත් නැතිනම් එම නිගමනයෙන් අවසන් වේද යන්න තවමත් පැහැදිලි නැති බව ද වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත් මේ වන විට ඊට අදාළ කිසිදු තීරණයක් ගෙන නොමැති අතර එළවළු ආනයනය කිරීමට අවසර ලබාදී නොමැත.

මෙම සාකච්ඡා පැවතියේ පසුගිය සති කිහිපය තුළ සිල්ලර වෙළෙඳ පොළේ හදිසියේ ඉතා දැඩි ලෙස එළවළු මිල ඉහළ යෑම සහ නිෂ්පාදන අඩුවීම හේතුවෙන් මහජනතාව අපහසුතාවට පත් වූ පසුබිම තුළය.

ගොවි ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණික තත්ත්වයන්, මෑතකාලීන අගය එකතු කළ බදු ඉහළ දැමීමේ ප්‍රතිඵලයක් ලෙස පිරිවැය සහ මිල වෙනස්වීම් සහ උද්ධමනය හේතුවෙන් බලපෑ වෙළෙඳ පොළ තත්ත්වයන් මේ තත්ත්වයට වගකිව යුතු බව පැවසේ.

එහි බලපෑම අවම කර ගැනීම සඳහා ආහාර බෝග වගා කිරීමට අවධානය යොමු කරන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

42.31%
17.27%
32.76%