January 24, 2024

යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය අපගමනය කිරීමට පොලිසියේ ඇතැම් නිලධාරීන් උත්සාහ දැරීම කණගාටුදායක තත්වයක් බව අවධාරණය කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ, දුබලයාට එක් නීතියකුත් ප්‍රබලයාට තවත් නීතියකුත් ක්‍රියාත්මක කිරීම පොලිසියේ කමාන්‍ය ක්‍රියා පටිපාටිය නොවිය යුතු බව විවෘත අධිකරණයේදී ඊයේ (23) පෙන්වා දී ඇත.

කාන්තාවකට ලිංගික අතවරයක් කළැයි කියන බම්බලපිටිය ප්‍රදේශයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක විධායක නිලධාරිවරයකු වසර 02ක කාලයක් ගතවුවත් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් සිය කණගාටුව පළකරමින් එසේ පැවසු මහේස්ත්‍රාත්වරයා, සැකකරු වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස නියම කරමින් වරෙන්තුවක් ද නිකුත් කර තිබේ.

බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව මෙසේ වරෙන්තු නිකුත් කරන ලද්දේ, බම්බලපිටිය පෞද්ගලික විශ්ව විද්‍යාලයක විධායක නිලධාරිවරයකු බව කියන චමින්ද සම්පත් නමැත්තාටය.

කාන්තාවකට ලිංගික අතවරයක් කළ බවට සැකකරුට එරෙහිව 2021 පෙබරවාරි 16 වැනිදා බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි දැනුම් දෙමින් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇතත් ඉන් පසු පොලිසිය විමර්ශන කර සැකකරු අත්අඩංගුවට ගෙන නැතැයි පෙන්වාදුන් මහේස්ත්‍රාත්වරයා, සැකකරුට එරෙහිව බරපතළ ලිංගික අපයෝජනය කිරීම යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා 2023 ජනවාරි 03 වැනිදා උපදෙස් දී ඇතත් ඒ අනුව කටයුතු කිරීමට පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලා ඇත්තේ අවුරුද්දක කාලයකට පසුව බව ද පෙන්වා දී ඇත.

වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති මෙවැනි වරදක සැකකරුවකු අත්අඩංගුවට නීතිපතිවරයාගේ උපදෙස් ගැනීම අවශ්‍ය නැති බව අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා, බම්බලපිටිය පොලිසියේ හිටපු නිලධාරීන් තමත් කැමැති කැමැති දේවල් කැමැති කැමැති විදිහට කර ඇතත් මෙය පොලිසියේ සාමාන්‍ය ක්‍රියා පිළිවෙත නොවිය යුතු බව ද පෙන්වා දී තිබේ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි බම්බලපිටිය පොලිසියේ නිලධාරීන් ඇමතු මහේස්ත්‍රාත්වරයා මෙසේද පවසා ඇත.

“2021 වසරේ අපරාධයක් කළ සැකකරුවකු 2024 වසර වනතුරු අත්අඩංගුවට ගෙන නැහැ. බම්බලපිටිය පොලිසියේ හිටපු නිලධාරීන් කළ දේවල්වලට දැන් ඉන්න නිලධාරීන් පළි නැහැ. ඒත් මේ තත්ත්වය බොහොම කණගාටුදායකයි” එක් එක් සැකකරුවන්ට එක එක නීති. මේක යුක්තිය අපගමනය කිරීමට උත්සාහ දැරිමක්.

බම්බලපිටිය පොලිසියේ වත්මන් ස්ථානාධිපතිවරයාගේ දිවුරුම් පෙත්සමක් ගොනු කරමින් කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි බම්බලපිටිය පොලිසියේ නිලධාරීන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 139 (01) වගන්තිය ‍යටතේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන්නැයි ඉල්ලා ඇත.

ඉල්ලීම සළකා බැලීමෙන් අනතුරුව සැකකරු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා ඒ සඳහා වරෙන්තු නිකුත් කර තිබේ.(ලංකාදීප)

42.31%
17.27%
32.76%