January 22, 2024

විදු­ලි­බල මණ්ඩ­ලයේ සේව­ක­යන් ලබා­ගෙන ඇති ණය පහ­සු­ක­ම්වල පොලී ගෙවා දැමීම සඳහා වන මුදල් මහ­ජ­න­තා­වගේ විදුලි බිලෙන් අයකර ගැනීම නවතා දමා, අදාළ ණය හිමි­ය­න්ගෙන් ඒවා අයකර ගැනී­මට ක්‍රම­වේ­ද­යක් සකස් කරන ලෙස විදු­ලි­බල හා බල­ශක්ති ඇමැති කංචන විජේ­සේ­කර සිදුකළ ප්‍රකාශය හෙළාදකින බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන්ගේ සංගමය පවසයි.

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන් විදුලිබල මණ්ඩලය සහ එහි කාර්ය මණ්ඩලය කෙරෙහි මහජන කෝපයක් ඇති කිරීමට ඇමැතිවරයා නැවත වරක් උත්සාහ කර ඇති බවද එම සංගමය පවසයි.

ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම.සංගමය ප්‍රකාශ කරන්නේ, රටේ අවධානය වෙනතකට යොමුකරමින් ඇමැතිවරයා මහජනතාව ඉදිරියේ වීරයකු වීමට උත්සාහ කරන බවයි.

විදුලිබල මණ්ඩලයට තම කාර්ය මණ්ඩලයට ගෙවීමට අවශ්‍ය වන්නේ සොච්චම් මාසික වැටුපක් පමණක් බවත්, ඉන් ඔබ්බට සිදුවන ඕනෑම දෙයක් අක්‍රමිකතා බවත් අවධාරණය කිරීමට ඇමැතිවරයා උත්සාහ කරන බවද වැඩිදුරටත් එහි සදහන් වේ.

මේ පිළිබදව දක්වමින් එම සංගමය මෙසේද පවසයි.

“විශේෂයෙන්ම රාජ්‍ය වත්කම් පෞද්ගලීකරණයට සහ කොටස් කිරීමට හා ප්‍රධාන අංශ ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කෙරෙමින් පවතින බැවින්, ලංවිම කාර්ය මණ්ඩලයට එල්ල කරන මෙම මඩ ව්‍යාපාරය පිටුපස ඇති යටි අරමුණ තේරුම් ගන්නා ලෙස අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිමු. වත්මන් ඇමැතිවරයාගේ හැසිරීම අපි හෙළාදකිමු”

“මුළු රටටම විදුලිය ගෙන ඒම සඳහා අභියෝගාත්මක තත්වයන් යටතේ වෙහෙස නොබලා සේවය කළ අපගේ සහෝදර ලංවිම සේවකයන් අපරාධකරුවන් සහ එදිරිවාදීන් ලෙස සළකයි”

“උසාවිය නිකුත් කර ඇති තහනම් නියෝග පිටුපස සැඟවී ඔහු ලංවිම කාර්ය මණ්ඩලයට දිගින් දිගටම හිරිහැර කිරීම හෙළාදකිමු”

42.31%
17.27%
32.76%