January 19, 2024

වැඩබලන පොලිස්පති ධූරයට දේශබන්දු තෙන්නකෝන් පත්කිරීම අභියෝගයට ලක්කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.

වගඋත්තරකරු නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස කටයුතු කරන කාලයේදී, 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර තම වගකීම් ඉටු කිරීමට අපොහොසත් වූ බවත්, එහිදී ප්‍රහාර පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් ලැබුණු බවත්, 2022 දී ගාලුමුවදොර පිටියේ විරෝධතාකරුවන්ට පහරදීම වැලැක්වීමට අපොහොසත්වූ බවත් මුජිබර් රහුමාන් සඳහන් කරයි.

දේශබන්දු තෙන්නකෝන්, තමන් දැරූ තනතුරුවලට අදාළ වගකීම් ඉටුකිරීමට ඔහුට ඇති නොහැකියාව මෙම සිදුවීම්වලින් පැහැදිලි වන බව ඔහු සඳහන් කරයි.

දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා ලෙස ස්ථීර පදනමින් පත්කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස නීතියේ ආධිපත්‍යයට ඍජු ප්‍රහාරයක් එල්ල වන බව පෙත්සමෙහි සඳහන් වේ.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස ස්ථිර පදනමින් නම් කිරීමට ජනාධිපතිවරයා ගන්නා ඕනෑම පියවරක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් අඛණ්ඩව උල්ලංඝනය කිරීමක් බව පෙත්සම්කරු පවසයි.

දේශබන්දු තෙන්නකෝන් ස්ථීර පදනමින් පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබාදීමට කටයුතු කළහොත්, ඔවුන්ගේ ක්‍රියාවන්ද ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් අඛණ්ඩව උල්ලංඝනය කිරීමක් බවට පත්වන බවද පෙත්සමෙහි සඳහන් වේ.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට ජනාධිපතිවරයා විසින් කරන ලද නාමයෝජනා මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බවට ප්‍රකාශ කරන ලෙසද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධූරය භාරගැනීම සහ පෙත්සම විභාග කර අවසන් තීරණය ලබාදෙනතුරු එම කටයුතු වලක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස මුජිබර් රහුමාන් සිය පෙත්සමින් ඉල්ලා සිටියි.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත්කිරීමට අදාළව පෙත්සම විභාග කර අවසන් තීරණය ගන්නා තෙක් ජනාධිපතිවරයාට අනුමැතිය ලබාදීම වළක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවටද අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියි.

තෙන්නකෝන්ට ‘වැඩබලන පොලිස්පතිවරයා’ හෝ ඒ හා සමාන තාවකාලික පත්කිරීමක්, පෙත්සම් විභාගය අවසන් වනතුරු භාරගැනීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමින් ඉල්ලා ඇත.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, දේශබන්දු තෙන්නකෝන් සහ ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් නම් කර තිබේ.

42.31%
17.27%
32.76%