January 18, 2024

වර්ෂයකට රුපියල් මිලියන 80ක පිරිවැටුමක් සහිත සෑම ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක්ම වැට් බදු සඳහා අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතු බවත්, එසේ ලියාපදිංචි වන ව්‍යාපාරිකයන් තමන්ගේ වැට් ලියාපදිංචි සහතිකය ඕනෑම අයෙකුට බලාගැනීමට හැකිවන පරිදි අනිවාර්යයෙන්ම ප්‍රදර්ශනය කළ යුතු බවත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.

යටියන්තොටදී ඊයේ සවස පැවැති රැස්වීමකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ දැනට වැට් බදු ගෙවීමේ සීමාව වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 80ක් මට්ටමේ පැවතිය ද, හැකි ඉක්මණින් එම සීමාව රුපියල් මිලියන 60 දක්වා පහත හෙළීමට නීති සම්පාදනය කරන බවයි.

එසේම 2002 අංක 14 දරන වැට් බදු පනත අනුව වැට් සඳහා ලියාපදිංචි වූ සෑම අයකුම වැට් බදු අයකරන්නේ නම්, තම සේවාදායකයාට, පාරිභෝගිකයාට හෝ ඕනෑම අයකුට බලාගැනීම සඳහා තම ආයතනයේ වැට් ලියාපදිංචි සහතිකය අනිවාර්යයෙන්ම ප්‍රදර්ශනය කළ යුතු බව ද රාජ්‍ය ඇමැති සියඹලාපිටිය සඳහන් කළේය.

වැට් බදු ලියාපදිංචි අංකය ප්‍රදර්ශනය නොකරන්නේ නම්, එසේ නොකරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බාධාවක් නොමැති බවද ඔහු පැවැසීය.