January 18, 2024

ඉන්දු-පාකිස්ථාන තරගය ඇතුළු තරග අටකින් සමන්විත 2024 T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ආසන 34,000කින් සමන්විත නසාවු ප්‍රාන්ත අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය සත්කාරකත්වය දක්වන බව නිවේදනය කර තිබේ.

නව අංග රැසකින් යුතු ක්‍රීඩාංගණයක් වන නිව් යෝර්ක්හි නසාවු ප්‍රාන්ත අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය, ක්‍රිකට් ක්‍රීඩාව සඳහාම ඉදිකෙරෙන්නේ ප්‍රථම වරටයි.

දැනට ඉදිවෙමින් පවතින එහි කටයුතු මාස තුනකින් නිමකිරීමට අපේක්ෂා කෙරේ.

ආසන 34,000කින් සමන්විත මෙම ක්‍රීඩාංගණය 2024 ICC පිරිමි T20 ලෝක කුසලානයේ තරඟ 08ක් පැවැත්වීමට නියමිත අතර ඊට ජුනි 09 වැනි දින ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන ප්‍රධානම තරඟයක් ද ඇතුළත් වේ.

ඉහළපෙළේ සහ සාමාන්‍ය ප්‍රවේශයන්, ප්‍රභූ සහ ආගන්තුක සත්කාර කට්ටලවලින් මෙන්ම අද්විතීය සාද පැවැත්වීමේ තට්ටුවකින් සහ කබානා ඇතුළු විකල්ප ආසන රාශියකින් ක්‍රීඩාංගණය සමන්විත වේ.

තිරසාර බව මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කරුණකි.

මෙය ෆෝමියුලා 1 ලාස් වේගාස් ගොන් ප්‍රී තරග සඳහා කලින් භාවිත කරන ලද ක්‍රීඩාංගණයක් වන අතර, T20 ලෝක කුසලානය සඳහා නැවත සකස් කරමින් තිබේ.

මෙම ව්‍යාපෘතිය පිටුපස සිටින නිර්මාණ කණ්ඩායම අහමදාබාද්හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණය සහ ලන්ඩනයේ ටොටන්හැම් හොට්ස්පර් ක්‍රීඩාංගණය ඇතුළුව ලොව පුරා වඩාත් කැපීපෙනෙන ක්‍රීඩාංගණය කිහිපයක් නිර්මාණය කිරීම සඳහා ප්‍රසිද්ධය.

“2024 ICC පිරිමි T20 ලෝක කුසලානයට පෙර නිව්යෝර්ක්හි නසාවු ප්‍රාන්ත අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය නිරාවරණය කිරීමට ලැබීම ගැන අපි සතුටු වනවා,” යනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක Geoff Allardice පවසා ඇත.

එය ක්‍රිකට් ලෝලීන් 34,000කට අසුන් ගත හැකි ස්ථානයක් වීමත් සමඟ මෙතෙක් පැවැති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විශාලතම උත්සවය වනු ඇති බව වාර්තා වේ.

“මේ වසරේ ජුනි මාසයේදී නිව් යෝර්ක්හි පැවැත්වෙන තරඟ අට හරහා ක්‍රීඩකයන්ට සහ රසිකයන්ට අමතක නොවන අත්දැකීමක් ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා මෙම ක්‍රීඩාංගණය ලබා දීමට අපි ලෝක මට්ටමේ සැපයුම්කරුවන් සමඟ හවුල් වුණා ” යැයි Geoff Allardice පවසයි.

ක්‍රීඩාංගණය ක්‍රිකට් ලෝලීන්ට පමණක් නොව සියලුම අමුත්තන්ට ලෝක මට්ටමේ අත්දැකීමක් ලබා දීමටද බලාපොරොත්තු වේ.

එය විශේෂිත රසික කලාපයක්, විවිධ ආහාර පාන අලෙවිසැල් සහ අති නවීන මාධ්‍ය සහ විකාශන ප්‍රදේශවලින් සමන්විත වේ.

මෙම ක්‍රීඩාංගණය වෙනුවෙන් ඇඩිලේඩ් ඕවල් සහ ඊඩ්න් පාර්ක් හි භාවිත කරන ආකාරයේ පෙරසවි කඩුල්ලක් මේ වන විට ෆ්ලොරිඩාවේ සකස් වෙමින් පවතී.

එය මැයි මස මුලදී නිව්යෝර්ක් වෙත ප්‍රවාහනය කෙරේ.

මෑන්හැටන් සිට සැතපුම් 30ක් නැගෙනහිරින් මෙම ක්‍රීඩාංගණය පිහිටි ස්ථානයට හොඳ ප්‍රවාහන පහසුකම් හා වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.

ඒ අවට දුම්රිය ස්ථාන තුනක් ද තිබේ.

ජූනි 03 වැනි දා ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ගැටුමින් ආරම්භ වන T20 ලෝක කුසලාන තරඟ අටක් එම ස්ථානයේ පැවැත්වෙන අතර, ක්‍රිකට් උළෙලකට සහභාගී වී ලොව හොඳම ක්‍රීඩකයන් ක්‍රීඩා කරන ආකාරය දැකගැනීම තුළින් ක්‍රීඩා ලෝලීන්ට ඉතිහාසයේ කොටසක් වීමට අවස්ථාව ලැබී ඇත.