January 18, 2024

ආන්දෝලනාත්මක බාල ඉමියුනොග්ලොබියුලින් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති සහ වත්මන් පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව තවත් විශ්වාසභංගයක් ගෙන ඒමට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

අදාළ ඉමියුනොග්ලොබියුලින් තොගය සැපයූ Isolez Biotech Pharma AG (Private) Limitedහි හිමිකරු ඇතුළු සැකකරුවන් දෙදෙනකු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් පසුගියදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම හමුවේ ප්‍රකාශ කළේ, එම ගනුදෙනුව සිදුවී ඇත්තේ රඹුක්වැල්ලගේ උපදෙස් මත බව යැයි තම සේවාදායකයන් දන්වා ඇති බවයි.

ඒ අනුව, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද ජයවර්ධන කියාසිටියේ ඉදිරි දිනවලදී කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සැලසුම් කර ඇති බවයි.

“අපි මීට කලින් එතුමාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාපු වෙලාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එය පරාජය කළේ ඔහුට චෝදනාවක් නැහැ කියලා. නමුත් මේ පාර එහෙම කියන්න බැහැ. මේ ඉමියුනොග්ලොබියුලින් ඩීල් එක පිටුපස හිටියේ රඹුක්වැල්ල කියලා හැමෝම වගේ දන්නවා. ඒ නිසා අපි විශ්වාසභංගයක් ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා. ඒ ගැන සාකච්ඡා කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ සන්ධානය ළඟදීම රැස්වෙනවා.”යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂයේ නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර කියා සිටියේ රඹුක්වැල්ලට ආණ්ඩුවේ කිසිදු ඇමැති ධුරයක් දැරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.

“මෙම දූෂිත ගනුදෙනුවට ගෙවීමට අවශ්‍ය මුදල් ඉල්ලා ඔහු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමේදී ඔහු සඳහන් කර ඇත්තේ මෙම ඖෂධය ආනයනය නොකළහොත් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටෙන බව. මෙම ඖෂධයෙන් තොගයක් විශාල පරිශ්‍රමයක් දරමින් මෙරටට ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වී තිබුණා. වෛද්‍ය සැපයුම් අංශයේ මෙම ඖෂධය ප්‍රමාණවත් තරම් තිබියදී ඔහු කැබිනට් මණ්ඩලය නොමඟ යවා ඉමියුනොග්ලොබියුලින් ආනයනය කිරීමට පහසුකම් සලසා තිබෙනවා. අපි අනිවාර්යයෙන්ම ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කරනවා.”යැයි ඔහු ප්‍රකාශ කළේය.

Isolez Biotech Pharma AG (Pvt.) Ltd නැමැති දේශීය සැපයුම්කරු විසින් රේගු නිෂ්කාශනය සඳහා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර එම ඖෂධය ආනයනය කර ඇති බවට අනාවරණය වීමත් සමඟ ඉමියුනොග්ලොබියුලින් කාණ්ඩයක භාවිතය අත්හිටුවා තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාරගත කළ රජයේ නිලධාරීන් අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, එහි සහකාර අධ්‍යක්ෂ ශාන්ති සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නිරාන් ධනංජය සහ වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධවේදී සුජිත් කුමාර යන පිරිස සිටිති.

එම අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමත් සමග අදාළ සිද්ධිය වන අවස්ථාවේ සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ රඹුක්වැල්ලට එරෙහිව පියවර ගන්නා ලෙස පාර්ශ්ව කිහිපයක් ඉල්ලා තිබේ.

කෙසේවෙතත්, දේශපාලන හිතවත්කම් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඹුක්වැල්ල අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටින බවත්, අපරාධයට සම්බන්ධ සැබෑ අපරාධකරුවන් තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකිවී ඇති බවත් චන්ද්‍රගුප්ත වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පසුගියදා අධිකරණය හමුවේ චෝදනා කළේය.

සමගි ජන බලවේගය විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී රඹුක්වැල්ලට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කළ අතර, එය සැප්තැම්බර් 08 වැනි දින පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වීමෙන් පසු පරාජයට පත්විය.

ඖෂධ, වෛද්‍ය සැපයුම් හිඟය සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාදීම හේතුවෙන් රජයේ රෝහල්වල මරණ කිහිපයක් වාර්තා වීම ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් විපක්ෂය විසින් විශ්වාසභංගය ඉදිරිපත් කරන ලදී.

ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් 113 දෙනෙකු ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර මන්ත්‍රීවරුන් 73 දෙනෙකු පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් විශ්වාසභංගය පරාජයට පත්විය.(The Morning)

 

42.31%
17.27%
32.76%