January 16, 2024

සිම්බාබ්වේ පිළට එරෙහිව කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පෙරේදා පැවැති පළමු T20 තරගයේ අවසන් පන්දුවේදී කඩුලු තුනක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව, දෙවැනි T20 තරගය අද එම ක්‍රීඩා පිටියේදීම පැවැත්වීමට නියමිතය.

මේ අතර, හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් වසර තුනකට පමණ කාලයකට පසු ඔහුගේ පළමු T20 අන්තර්ජාතික තරගයේදී ලකුණු 46ක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළේය.

මේ අතර, ඇන්ජලෝ මැතිව්ස් වැනි පළපුරුදු ක්‍රීඩකයන් කණ්ඩායමේ සිටීමේ වැදගත්කම පිළිබඳව නායක වනිඳු හසරංග අවධාරණය කළේය.

“මැතිව්ස් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිහින් නැහැ. ඉරිදා ඇතිවූ පීඩනය යටතේ ඔහු සිය සුවිශේෂී පිතිකරණ දස්කම් පෙන්වූවා. විශේෂයෙන්ම අභියෝගාත්මක තත්ත්වයන් සඳහා සහ ඉදිරි ලෝක කුසලානය සඳහා මැතිව්ස් වැනි අත්දැකීම් සහිත ක්‍රීඩකයන් අපට අවශ්‍යයි. ලංකා ප්‍රිමිය ලීග් තරඟාවලියේ ඔහුගේ විශිෂ්ට දස්කම් සහ ඔහු මීට පෙර එක්දින ලෝක කුසලානයට සම්බන්ධවීම සළකා බැලීමේදී මැතිව්ස් ලෝක කුසලාන තරඟාවලිය සඳහා කණ්ඩායමේ සාමාජිකයකු විය යුතු බව තේරීම් කමිටුව සහ මම විශ්වාස කළා. ඔහු T20 කණ්ඩායමට නැවත කැඳවීම උපායමාර්ගික තීරණයක්.”

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ක්‍රීඩකයකුට බාධාවකින් තොරව කණ්ඩායමට එක්වී ඔවුන්ගේ සාමාන්‍ය මට්ටමින් දස්කම් දැක්වීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස නොකරන බව ඔහු පවසා ඇත.

“විශ්‍රාම ගිය ක්‍රීඩකයකුට කණ්ඩායමට එකතු වී ඔහුගේ සාමාන්‍ය ක්‍රීඩාව ක්‍රීඩා කළ හැකි යැයි මම හිතන්නේ නෑ. විශේෂයෙන් ලෝක කුසලානයට පෙර සීමිත T20 තරඟ කිහිපයක් පමණක් ඉතිරිව තිබෙනවා. T20 ලෝක කුසලානයට පෙර ක්‍රීඩා කිරීමට තවත් තරග 08ක් පමණ ඉතිරිව ඇති බැවින් ලෝක කුසලානයට යෑමට පෙර අඛණ්ඩව හොඳට ක්‍රීඩා කරමින් ජයග්‍රාහී විශ්වාසයක් ගොඩනගා ගැනීම අපගේ අරමුණයි”