January 16, 2024

බාල වයස්කාර දරුවකුගේ ඇඟිල්ලක් වෙන්වන අන්දමට කඩුවකින් කොටා දින 11 තිස්සේ සැඟවී සිටි රාගම ප්‍රදේශයේ පුද්ගලයකු ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවන්දාන ඊයේ (15) නියම ඇත.

ඇඟිල්ල වෙන්වන අන්දමට දරුවාට කෙටූ කඩුව සොයාගැනීම සඳහා විමර්ශන කරන බව දැනුම් දෙමින් රාගම පොලිසියේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරු මෙලෙස රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට මහේස්ත්‍රාත්වරයා නියමකර තිබේ.

මෙලෙස රිමාන්ඩ් බාරයට පත්කරන ලද්දේ රාගම පොඩිවී කුඹුර ප්‍රදේශයේ පදිංචි ඇතීගේ දිලරුක් ප්‍රශාන්ත සිල්වා නමැති තිදරු පියෙකි.

සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ රාගම පොලිසියේ නිලධාරීන් පසුගිය ජනවාරි මස 04 වැනිදා දෙපාර්ශ්වය අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් සැකකරු ඔහුගේ අසල්වැසි නිවසක පදිංචිව සිටි 14 හැවිරිදි බාලවයස්කාර දරුවකුට කඩුවෙන් කොටා ඇතැයි ද, ඉන් ඔහුගේ වම් අතේ ඇඟිල්ලක් සම්පූර්ණයෙන්ම වෙන් වී ඇතැයි ද පසුව දරුවා ජාතික රෝහලට ඇතුළත් කර ශල්‍යකර්මයකට ලක්කිරීමෙන් පසු නේවාසිකව ප්‍රතිකාර ලබා දී ඇතැයි ද දැනුම් දී ඇත.

දරුවා රෝහලෙන් මුදාහළ පසුගිය 13 වැනිදාතෙක් පොලිසියට ඉදිරිපත් නොවු සැකකරු, දරුවා රෝහලෙන් මුදාහළ පසු පොලිසියට පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් බව දැනුම්දුන් නිලධාරීන් දරුවාට කෙටූ කඩුව සොයාගැනීම සඳහා විමර්ශන කරන බව ද දැනුම් දී තිබේ.

වින්දිත බාලවයස්කාර දරුවා වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ශ්‍රමින්ද්‍ර සොයිසා මීට පෙර දිනයක මෝසමක් මාරේයන් කරුණු දක්වමින් පොලිසියේම ඉහළ නිලධාරියකුගෙන් විමර්ශන නිලධාරීන්ට එල්ල වී ඇති බලපෑම් හේතුවෙන් මීට පෙර අවස්ථාවක අත්අඩංගුවට ගත් මෙම සැකකරු මුදාහැරීමට පොලිසිය කටයුතු කළේ යැයි පවසා ඇත.

මේ වන විට ඇඟිල්ලක්ද අහිමි වී සිටින මෙම දරුවා කුඩු නඩුවකට පටළවා සිරගත කිරීමේ සූදානමක් පිළිබඳව තමන්ට තොරතුරු ලැබී ඇතැයි දැනුම් දුන් නීතිඥ ශ්‍රමින්ද්‍ර සොයිසා වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්නැයි ඉල්ලීමක් ද කර තිබේ.

සියලු කරුණු සළකා බැලීමෙන් අනතුරුව සැකකරු රිමාන්ඩ් බාරයට පත්කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල කැඳවන ලබන 19 වැනිදා සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස පොලිසියට නියම කර ඇත.(ලංකාදීප)

42.31%
17.27%
32.76%