January 12, 2024

කහතුඩුව අධිවේගී පිවිසුම ඉදිරිපිට දී ගුවන් සේවා නිලධාරිනිගේ ඝාතකයාගේ බිරිඳ පොලිසිය වෙත පැමිණ දරුවන් සිව්දෙනාගේ නීත්‍යානුකූල භාරකාරත්වය ඇයට ලබාදෙන ලෙස ඉල්ලා සිටි බව කහතුඩුව පොලිසිය කියයි.

ඇය එලෙස පැමිණ ඇත්තේ පිළියන්දල පොලිසියට සහ කැස්බෑව පොලිසිය වෙත යෑමෙන් අනතුරුව බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇය 2021 වසරේ සිට එල්ලාවල ලියනගේ ඩන්ස්ටන් ප්‍රසාද් පෙරේරා නමැත්තාගෙන් වෙන්වී ජීවත්වන බවත්, දරුවන් සිව්දෙනකු සිටින බවත් ප්‍රකාශ කර ඇත.

එම දරුවන් සිව්දෙනා සැකකරුගේ නැගණිය භාරයේ මේ වන විට පසුවන බව පැවැසේ.

ඇය ඊයේ (11) පොලිසිය වෙත පැමිණ ඇත්තේ එක් දරුවකු සමගය.

ඇය මේ වනවිට සිය එකම පුතු සමග අප්‍රසිද්ධියේ ජීවත්වන අතර, ඇය සිටින නිවසක ලිපිනයක් හෝ පොලිසියට පවා ලබා දීමට කටයුතු කර නොතිබුණු බව පොලිසිය පවසයි.

ඊට හේතුව, ඇයගේ සැමියා විවිධ පුද්ගලයන් ලවා ඇයට සහ පුතුට විවිධ අවස්ථාවල හිරිහැර කිරීම බව ඇය පවසා ඇත.

තම සැමියා කෙළිලොල් ජීවිතයක් ගතකරන බවත්, ඝාතනයට ලක් වූ අනුරුද්ධිකා සමග පැවැති අනියම් සම්බන්ධය හේතුවෙන් තමන්ට පහර දුන් වාර අනන්ත බවත්, ඇය වැඩිදුරටත් ප්‍රකාශ ලබා දී තිබේ.

මේ ආකාරයෙන් ඇය පැයකට අධික කාලයක් සිය ප්‍රකාශ ලබා දී ඇති බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී ස්ථානාධිපතිවරයා ඇය වෙත උපදෙස් ලබා දී ඇත්තේ ඊට අවශ්‍ය නීත්‍යානුකූල පියවර ගන්නා ලෙසයි.(ලංකාදීප)

42.31%
17.27%
32.76%