January 11, 2024

අන්තර්ජාතික ප්‍රජාවේ කොටස් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමඟ බොහෝ වාද විවාද කිරීමෙන් පසුව, රජය විසින් ආන්දෝලනාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම සඳහා ‘ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත’ ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තාවකාලික නීති සම්පාදනයක් ලෙස 1979 දී හඳුන්වා දෙන ලද අතර, එය විශේෂයෙන් එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ඇතුළු ගැටුම් කාලවලදී පුළුල් ලෙස ක්‍රියාත්මක විය.

යුද්ධය අවසන් වීමෙන් පසු, බලයට පත් වූ රජයන්ට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC), සිවිල් සමාජ සංවිධාන, වෘත්තීය සමිති සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුළු අන්තර්ජාතික ප්‍රජාවෙන් එය අවලංගු කරන ලෙස බලපෑම් එල්ල විය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නවතම යෝජනාව විසින්ද එය අවලංගු කරන ලෙස දැනුම්දී තිබේ.

කෙසේවෙතත්, රජය විසින් නව පනත් කෙටුම්පතක් සකස් කරන ලද අතර, ඒ තුළ පවතින නීතියටත් වඩා කුරිරු ප්‍රතිපාදන අඩංගු බවට චෝදනා කිරීමත් සමඟ විවිධ කණ්ඩායම්වල දෝෂ දර්ශනයට ලක්විය.

පසුව, රජය, අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර, පනත් කෙටුම්පත නැවත සකස් කර, විවාදයට සහ පසුව බලාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුව, ආරක්ෂක ලේකම්වරයාගේ රැඳවුම් නියෝග යටතේ සැකකරුවෙකු මාස ​​තුනක කාලයක් රඳවා තබා ගත හැකි නමුත් දැන් බලාත්මක වීමට නියමිත නව පනත් කෙටුම්පතෙන් එය මාස දෙකකට අඩුකර ඇත.

රැඳවුම් නියෝගයකින් තොරව රඳවා සිටින සැකකරුවන්ට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරුන්ට බලය ඇත.

විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය භාවිත කරමින් ප්‍රචණ්ඩ ක්‍රියාවන් අවුස්සමින් කරන ලද ප්‍රකාශ ආවරණය කිරීම සඳහා නව පනත් කෙටුම්පතෙහි ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ දැක්වීම වඩාත් පුළුල් කර ඇත.

ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මගින් ඕනෑම සංවිධානයක් තහනම් කිරීමට, පුද්ගලයන්ගේ ගමනාගමනය සීමා කිරීමට, ඕනෑම ස්ථානයක් තහනම් ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට සහ ඇඳිරි නීතිය සම්බන්ධයෙන් නව ක්‍රියා පටිපාටි ඇතුළත් කිරීමට ජනාධිපතිවරයාට ප්‍රතිපාදන සලසා ඇත.

නව පනත් කෙටුම්පතට අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට යටතේ පොලිස් නිලධාරියකු ඉදිරියේ කරන ලද පාපොච්චාරණයක් අධිකරණයක සාක්ෂියක් ලෙස පිළිගත නොහැකිය.

පොලිසිය සහ හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවහොත් අදාළ පුද්ගලයා පැය 24 ක් ඇතුළත පොලිසියට භාරදිය යුතුය.

නව පනත් කෙටුම්පතේ 79 වැනි වගන්තිය මඟින් කිසියම් සංවිධානයක් කිසියම් ක්‍රියාවක නිරත වන්නේ නම් හෝ ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටක ජාතික ආරක්ෂාවට අගතියක් වන අයුරින් නීති විරෝධී ලෙස ක්‍රියා කරන්නේ නම්, අනෙකුත් ලිඛිත නීතියක කිසිවක් නොතකා එම සංවිධානය තහනම් කිරීමට ජනාධිපතිවරයාට ප්‍රතිපාදන සපයයි.

පොලිස්පතිවරයාගේ හෝ ඕනෑම විදේශ රටක නිර්දේශයක් මත ජනාධිපතිවරයාට තහනම් නියෝගයක් නිකුත් කළ හැකිය.

ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පත යටතේ කිසියම් පුද්ගලයකු වරදක් කර ඇති බවට විශ්වාස කිරීමට හෝ සූදානම් වීමට සාධාරණ හේතු තිබේ නම්, පොලිස්පතිවරයාගේ නිර්දේශය අනුව අදාළ පුද්ගලයන්ට සීමා නියෝග නිකුත් කිරීමට ජනාධිපතිවරයාට බලතල පැවරේ.

සීමා කිරීමේ නියෝගයකට පදිංචි ස්ථානයෙන් පිටත ගමන් කිරීම, විදේශගත වීම, ශ්‍රී ලංකාව තුළ ගමන් කිරීම සහ පදිංචිය සහ රැකියා ස්ථානය අතර ගමන් කිරීම සීමාකිරීම් ඇතුළත් විය හැකිය. කෙසේවෙතත් නියෝගය අවලංගු කිරීමට හෝ වෙනස් කිරීමට විධිවිධාන ඇත.

අන්තර්ජාතික ප්‍රජාව, විශේෂයෙන්ම යුරෝපීය රටවල්, ත්‍රස්තවාදය පිළිබඳ පුළුල් නිර්වචනය පිළිබඳව තවමත් සැළකිලිමත් වේ.

බැලූ බැල්මට පෙනෙන කාරණය නම්, නව පනත් කෙටුම්පත හේතුවෙන් රජයට ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු අන්තර්ජාතික වේදිකාවන් වලදී දැඩි ප්‍රහාරයකට මුහුණදීමට සිදුවන බවයි.

එසේම ආණ්ඩුව එවැනි විරෝධතාවන් නොතකා ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින්, ආර්ථික පීඩනයෙන් දැඩිව පෙළෙන ජනයාගේ නැගිසිටීම් මර්දනය කිරීමට ඉලක්ක කර ඇති බවද පැහැදිලිවම මෙම නව කෙටුම්පත ඔස්සේ දැකගත හැකිය.

42.31%
17.27%
32.76%