January 9, 2024

ජනප්‍රිය රංගන ශිල්පිනියකට ත්‍රීරෝද රථයකදී ලිංගික අතවර කළැයි කියන ත්‍රීරෝද රථ රියැදුරු ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයෙක් පිළියන්දල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කරන්නකු බව පොලිසිය කියයි.

රංගන ශිල්පිනිය කුලී ගමන් පහසුකම් සපයන ප්‍රසිද්ධ සමාගමකින් අන්තර්ජාලය ඔස්සේ ත්‍රිරෝද රථයක් කටුබැද්දේ සිට යෑමට ඇනවුම්කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.

එහිදී පැමිණ තිබූ ත්‍රීරෝද රථයට ගොඩ වූ ඇය නුගේගොඩ දක්වා යන ලෙස ත්‍රිරෝද රියැදුරාට පවසා තිබූ අතර ඔහු කටුබැද්දේ සිට පිළියන්දල හරහා ජාලියගොඩ දෙසට යමින් සිටියදී පවතින අධික වර්ෂාව හේතුවෙන් යෑමට නොහැකි බව පවසා ත්‍රීරෝද රථය නවතා ඇතැයි පොලිසිය කියයි.

අනතුරුව රියැදුරු ලෙස කටයුතු කළ සැකකාර පොලිස් පරීක්ෂකවරයා එකවරම ත්‍රීරෝද රථයේ රංගන ශිල්පිනිය අසුන්ගෙන සිටි පිටුපස අසුනට පැමිණ ඇයගේ පපු ප්‍රදේශය ඇල්ලීමට උත්සාහ කිරීමත් සමගම ඇය ඔහු සමග පොරබදා ත්‍රීරෝද රථයෙන් බිමට පැන ඇත.

ඒ වන විට රංගන ශිල්පිනියගේ හැඳුනුම්පත බැංකු කාඩ්පත මුදල් ඇතුළු තවත් වටිනා ලිපි ලේඛන ඇතුළත් අත් බැගයද එහි පිටුපස අසුනේ තිබී සැකකරු ඒවාද රැගෙන පළාගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.

සැකකාර පොලිස් පරීක්ෂකවරයාගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමේදී තමන් ඒවා රැගෙන නොගිය බව ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියෙක් පවසයි.

ත්‍රී රෝද රථයෙන් බිමට පැනීමෙන් රංගන ශිල්පිනියගේ දණ හිස්වලට තුවාල සිදුවී තිබූ අතර, ඇයට නිකුත් කළ අධිකරණ වෛද්‍ය පෝරමයෙන් පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

සැකකාර පොලිස් පරීක්ෂකවරයාගේ ත්‍රීරෝද රථය සොයා ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

සැකකරු බළන්ගොඩ රාස්සගල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.(ලංකාදීප)

42.31%
17.27%
32.76%