January 8, 2024

ඇලස්කා ගුවන් සේවයට‌ අයත් 737 මැක්ස් 9 ගුවන් යානයේ ගැලවී ගිය දොරෙහි කැබැල්ලක් පෝට්ලන්ඩ් හිදී සොයාගත් බව විදෙස් මාධ්‍ය පවසයි.
එය වැටී තිබෙන්නේ, පෝට්ලන්ඩ්හී වාසය කරන පාසල් ගුරුවරයෙකුගේ මිදුලකටය.

එම ⁣සොයාගත් කොටස ශීතකරණයක ප්‍රමාණයක එකක් බව විදෙස් ජනමාධ්‍ය පවසා ඇත.

අදාළ දොරේ කොටස ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලය වෙත ගෙනවිත් තිබේ.

ඇලස්කා ගුවන් සේවයට‌ අයත් 737 මැක්ස් 9 ගුවන් යානයක් පසුගිය සිකුරාදා අමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ පෝට්ල්ඩ් ගුවන්තොටුපොළ වෙත හදිස්සියේ ගොඩබැස්සවූයේ එම ගුවන් යානයේ බඳ කොටසේ දොරක කොටසක් ගැලවීයෑම හේතුවෙනි.

පෝට්ලන්ඩ් සිට කැලිෆෝනියාවේ ඔන්ටාරියෝ වෙත ගමන් කිරීමේ දී එම ගුවන් යානයේ බඳේ පිහිටි දොරක කොටසක් පුපුරායෑම හේතුවෙන් විනාඩි 35 ක් වැනි කාලයක් තුළ පොට්ලන්ඩ් වෙත ගොඩබස්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇලස්කා ගුවන් සේවය පැවසුවේ, එම අවස්ථාවේ මගීන් සහ කාර්ය මණ්ඩලය 177 දෙනෙකු යානයේ සිටි බවයි.

මෙම හදිසි අනතුර සිදුවන අවස්ථාවේ යානය අඩි 16,000ක් (මීටර් 4,876) ඉහළ අහසේ තිබූ බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙම සිද්ධියේදී ගුවන් යානයේ සිටි මගීන් දැඩි කම්පනයට ලක්ව සිටි බව වාර්තා විය.

මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇලස්කා එයාර් ලයින්ස් පවසන්නේ, තමන් සතු 737 මැක්ස් 9 ගුවන් යානා 65ම පරීක්ෂා කිරීම සඳහා තාවකාලිකව ගුවන්ගත කිරීම නවතා දැමූ බවයි.

ඇලස්කා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසුවේ, ගුවන් යානා 65 යළි සේවයට ලබාදෙන්නේ පූර්ණ නඩත්තු සහ ආරක්‍ෂිත පරීක්‍ෂණ අවසන් කිරීමෙන් පසුව පමණක් බවයි.

මේ සිදුවීම සම්බන්ධයෙන් ⁣වැඩිදුර තොරතුරු රැස්කරමින් සිටින බව ගුවන් යානා සමාගම වන බෝයිං සමාගම පවසා තිබේ.