January 8, 2024

දේශීය ආනයනකරුවන්ට අනුව තුර්කියෙන් ආනයනය ආරම්භ වන තිරිඟු පිටි තොග මිල ටොන් එකකට ඩොලර් 100 කට වඩා වැඩි වී ඇති බැවින් රතු මුහුදේ හූති කැරලිකරුවන්ගේ ප්‍රහාරවල බලපෑම ශ්‍රී ලංකාවට දැනෙන්නට ඉඩ තිබේ.

හවුති කල්ලියේ ප්‍රහාර හේතුවෙන් නැව් සමාගම් රතු මුහුදින් ඉවතට හරවා යවා ඇත.

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ ප්‍රකාශකයකු ඩේලි මිරර් වෙත පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව සිය මුළු තිරිඟු පිටි අවශ්‍යතාවයෙන් සියයට 25 ක් ආනයනය කරන අතර, ඉතිරිය තිරිඟු ධාන්‍ය ආනයනය කරන සමාගම් දෙකක් විසින් දේශීයව ඇඹරීම සඳහා සපයනු ලබන බවයි.

එම ප්‍රකාශකයා පවසා ඇත්තේ, තුර්කිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන සැපයුම්කරු වන අතර, ටොන් එකක් ඩොලර් 350-360ක් අතර පැවති මිල දැන් ටොන් එකක් ඩොලර් 450-460 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

“දැන් නැව් සමාගම්වලට සිය ගමන් මාර්ගය දිගු කිරීමට සිදුව තිබෙනවා. එමනිසා නැව්ගත කිරීමේ කාලය අවම වශයෙන් මාසයකින් වැඩි වෙනවා. එසේම රතු මුහුදේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ඉහළ රක්ෂණ වාරිකයක් ගෙවීමට සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ ගොස් තිබෙනවා.

මෙම පසුබිම යටතේ තිරිඟු පිටිවල සිල්ලර මිල ස්ථාවරව තබාගැනීම සඳහා තීරුබදු සහ අනෙකුත් බදු ඉවත්කරන ලෙස ආනයනකරුවන් වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දුගෙන් ඉල්ලීමක් කිරීමට සැලසුම් කර තිබේ.

දැනට ආනයනික තිරිඟු පිටි කිලෝවක් සඳහා පනවා ඇති සියලුම බදු වල වටිනාකම රුපියල් 44කි.

අදාළ ප්‍රකාශකයා පවසා ඇත්තේ, “පෙර මිලට ඇණවුම් කළ තොග පෙබරවාරි 01 වන විට බෙදාහැරීම අවසන් වෙනවා. ඉන්පසුව නැව්ගත කළ තොග සඳහා මිල ගැටලුවක් අපට පවතිනවා”.

මීට අමතරව, වත්මන් තත්ත්වය යටතේ ඉහළ සමුද්‍ර රක්ෂණ වාරිකයක් ගෙවීමට සිදුවීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන පරිප්පු සඳහා භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ද ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.