January 7, 2024

මාලදිවයින සහ එහි සංචාරයට ඇති ස්ථාන වර්ජනය කරන ලෙස ඉල්ලන අන්තර්ජාල ව්‍යාපාරයකට ඉන්දියාවේ ප්‍රකට පුද්ගලයන් සහ සමාජ මාධ්‍ය බලපෑම් කරන්නන් ගණනාවක් සම්බන්ධ වී තිබේ.

බොලිවුඩ් සුපිරි නළු ආක්ෂේ කුමාර්, ඉන්දීය සුපිරි ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් වැනි අය ද ඒ අතර වූහ.

ඔවුන් මෙම ව්‍යාපාරයට සම්බන්ධ වී ඇත්තේ මාලදිවයින් ඇමැතිවරයකු සහ මාලදිවයින් ජාතිකයන් පිරිසක් කලින් Twitter ලෙස හැඳින් වූ X සමාජ මාධ්‍ය වේදිකාවේ ඉන්දීය විරෝධී අදහස් පළ කිරීමෙන් පසුවය.

එහි මූලාරම්භය වන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මෑත කාලීන ලක්ෂද්වීප් සංචාරය වන අතර එය සංචාරකයන් අතර ඉන්දීය දූපත කෙරෙහි උනන්දුවක් ඇති කළේය.

සිය සංචාරයේදී මෝදි සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් විවෘත කළ අතර ලක්ෂද්වීපයේ සුන්දර වෙරළ තීරයන් ද ගවේෂණය කළේය.

මෝදි මුහුදේ ස්නෝකර්ලිං කරමින් සිටින ඡායාරූප සමාජ මාධ්‍යවල ඉතා ඉහළින් සංසරණය වූ අතර X සමාජ මාධ්‍ය වේදිකාවේ ඉහළම ප්‍රවණතාවක් බවට පත්විය.

2023 දෙසැම්බර් වන තෙක් මාලදිවයිනට පැමිණි සංචාරකයන් අතරින් වැඩිම පිරිස ඉන්දීය සංචාරකයන් බව එරට සංචාරක අමාත්‍යංශයේ දත්ත පෙන්වා දෙයි.

මාලදිවයින් සංචාරක අමාත්‍යංශට අනුව, දෙසැම්බර් 13 වැනි දින දක්වා මාලදිවයිනට සංචාරකයන් 1,757,939ක් පැමිණ ඇති අතර එය 2022 දී වාර්තා වූ මිලියන 1.5ට සාපේක්ෂව සියයට 12.6ක වැඩිවීමකි.

මාලදිවයිනට පැමිණි වැඩිම සංචාරකයන් සංඛ්‍යාව ඉන්දියාවෙන් (209,198)වන අතර පිළිවෙළින් රුසියාව (209,146) සහ චීනය (187,118) දෙවැනි සහ තුන්වැනි ස්ථානවල පසුවේ.

මේ අතර, මාලදිවයින් රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ විදේශීය නායකයන්ට සහ ඉහළපෙළේ පුද්ගලයන්ට එරෙහිව සමාජ මාධ්‍ය වේදිකාවල සිදුකෙරෙන අපහාසාත්මක ප්‍රකාශයන් පිළිබඳ මාලදිවයින් රජය දැනුවත්ව සිටින බවයි.

මෙම මතයන් පෞද්ගලික වන අතර මාලදිවයින් රජයේ අදහස් නියෝජනය නොකරන බවත් එවැනි පහත් ප්‍රකාශ කරන පුද්ගලයන්ට එරෙහිව පියවර ගැනීමට රජයේ අදාළ බලධාරීන් පසුබට නොවන බවත් එම නිවේදනයේ දැක්වේ.