January 6, 2024

ඉන්දියාවේ පළමු සූර්ය නිරීක්ෂණ මෙහෙයුම ඉදිරි පැය කිහිපයේ දී අවසන් ගමනාන්තයට ළඟා වීමට නියමිත බව වාර්තා වේ.

ආදිත්‍ය-L 1 යානය අභ්‍යවකාශයේ සූර්යයා නොනවත්වා නැරඹීමට හැකි ස්ථානයක තැබීමට ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය උත්සාහ කරමින් සිටියි.

සැප්තැම්බර් 2 වැනිදා උඩුගුවනට ගිය දින සිට මාස හතරක් තිස්සේ යානය සූර්යයා දෙසට ගමන් කළේය.

මෙම මෙහෙයුම ඉන්දියාව දියත් කරනු ලැබුවේ සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ගොඩ බැස්ස පළමු ජාතිය බවට පත්වෙමින් ඉන්දියාව ඉතිහාසගත වීමෙන් දින කිහිපයකට පසුවය.

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම වස්තුව අධ්‍යයනය කිරීම සඳහා ඉන්දියාවේ ප්‍රථම අභ්‍යවකාශ පාදක මෙහෙයුම නම් කර ඇත්තේ සූර්යයාගේ නමෙහි අර්ථය එන හින්දු දෙවියකු වන ආදිත්‍ය නමිනි.

තවද L1 යනු සූර්යයා සහ පෘථිවිය අතර නිශ්චිත ස්ථානයක් හඳුන්වන Lagrange point 1 යන්නයි.

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියට අනුව, ලැග්‍රේන්ජ් ලක්ෂ්‍යයක්(Lagrange point) යනු සූර්යයා සහ පෘථිවිය වැනි විශාල වස්තූන් දෙකක ගුරුත්වාකර්ෂණ බලයන් එකිනෙක අවලංගු වන ස්ථානයක් වන අතර එම ස්ථානයේ අභ්‍යවකාශ යානයකට නිදහසේ රැඳී සිටීමට ඉඩ සලසයි.

L1 පිහිටා ඇත්තේ පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 1.5 දුරිනි.

එය පෘථිවි-සූර්‍ය දුරින් ගත්කල 1% කි.

මේ වන විටත් අභ්‍යවකාශ යානය සිය ගමනාන්තයට ඇති බොහෝ දුරක් පසුකර අවසන් බව ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය පසුගියදා ප්‍රකාශ කළේය.

ආදිත්‍ය L1 කක්ෂයේ ස්ථානගත කිරීම සඳහා සෙනසුරාදා ඉන්දීය වේලාවෙන් පස්වරු 4ට “අවසාන උපාමාරුවක්” සිදු කරන බව ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සියේ නිලධාරියෙක් බීබීසීයට පවසා තිබිණි.

ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානී එස්.සෝමනාත් පවසා ඇත්තේ ඔවුන් යානය කක්ෂයට යොමුකර ඇති අතර එය තබා ගැනීම සඳහා තවත් උපාමාරු යෙදිය යුතු බවයි.

ආදිත්‍ය L1 මෙම “නැවැත්වීමේ ස්ථානයට” ළඟා වූ පසු එය පෘථිවිය හා සමාන වේගයකින් සූර්යයා වටා කක්ෂගත වීමට හැකි වනු ඇත.

මෙම වාසිදායක ස්ථානයේ සිට සූර්යග්‍රහණ සහ ගුප්ත කාලවලදී පවා සූර්යයා නිරන්තරයෙන් නැරඹීමට සහ විද්‍යාත්මක අධ්‍යයනයන් සිදු කිරීමට එයට හැකි වනු ඇත.

ආදිත්‍ය L1 සූර්ය කිරීටය (පිටතම ස්ථරය),ප්‍රභාගෝලය (සූර්‍යයාගේ මතුපිට හෝ පෘථිවියේ සිට අප දකින කොටස) සහ වර්ණ ගෝලය (ප්‍රභාගෝලය සහ කොරෝනා අතර පවතින ප්ලාස්මා තුනී ස්ථරයකි) නිරීක්ෂණය කිරීම සහ අධ්‍යයනය කිරීම සඳහා විද්‍යාත්මක උපකරණ හතක් රැගෙන යයි.

සැප්තැම්බර් 2 වැනි දින ගුවන්ගත කිරීමෙන් පසු, අභ්‍යවකාශ යානය සැප්තැම්බර් 30 වැනි දින පෘථිවි ගෝලයේ බලපෑමෙන් මිදීමට පෙර පෘථිවිය වටා සිව් වතාවක් ගමන් කළේය.

ඔක්තෝබර් මස මුලදී, ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය පැවසුවේ එය අවසාන ගමනාන්තය කරා එහි අපේක්ෂිත මාවතේ ඇති බව සහතික කිරීම සඳහා ගමන් පථයේ සුළු නිවැරදි කිරීමක් කළ බවයි.

ඒජන්සිය පවසන්නේ යානයේ ඇති සමහර උපකරණ දැනටමත් වැඩ ආරම්භ කර ඇති අතර දත්ත රැස් කිරීම සහ ඡායාරූප ගැනීම ඊට අයත් බවයි.

ගුවන්ගත කිරීමෙන් දින කිහිපයකට පසු, මෙහෙයුම විසින් එවන ලද පළමු පින්තූර ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය විසින් බෙදා ගන්නා ලදී.

ඉන් එකක් පෘථිවිය සහ චන්ද්‍රයා එක රාමුවක පෙන්වූ අතර දෙවැන්න එහි විද්‍යාත්මක උපකරණ දෙකක් පෙන්වන “සෙල්ෆි” ඡායාරූපයක් විය.

තවද පසුගිය මාසයේදී ඒජන්සිය නැනෝමීටර 200 සිට 400 දක්වා තරංග ආයාමයකින් යුත් සූර්යයාගේ ප්‍රථම පූර්ණ තැටි ඡායාරූප නිකුත් කළ අතර, ඔවුන් පවසන්නේ එය සූර්‍යයාගේ ප්‍රභාගෝලයේ සහ වර්ණ ගෝලයේ සංකීර්ණ තොරතුරු පිළිබඳ අවබෝධයක් ලබා දුන් බවයි.

සූර්ය සුළඟ සහ සූර්ය ගිනිදැල් වැනි සූර්ය ක්‍රියාකාරකම් සහ පෘථිවියට සහ අභ්‍යවකාශයට ආසන්න කාලගුණය මත ඒවායේ බලපෑම තත්‍ය කාලීනව තේරුම් ගැනීමට මෙම මෙහෙයුම උපකාරී වනු ඇතැයි විද්‍යාඥයෝ පවසති.

සූර්යයාගේ විකිරණ, තාපය සහ අංශුවල ගලායාම සහ සූර්යයාගේ චුම්බක ක්ෂේත්‍ර නිරන්තරයෙන් පෘථිවි කාලගුණයට බලපෑම් කරයි.

ඉන්දියාවේ චන්ද්‍රිකා 50කට වැඩි ප්‍රමාණයක් ඇතුළුව 7,800කට ආසන්න ප්‍රමාණයක් ස්ථානගත කර ඇති අභ්‍යවකාශ කාලගුණයට ද ඒවා බලපායි.

විද්‍යාඥයන් පවසන්නේ ආදිත්‍ය L 1ට දින කිහිපයකට පෙර සූර්ය සුළං හෝ පිපිරීම් පිළිබඳ වඩා හොඳින් අවබෝධ කර ගැනීමට සහ පූර්ව අනතුරු ඇඟවීමක් ලබා දිය හැකි අතර එය ඉන්දියාවට සහ අනෙකුත් රටවලට චන්ද්‍රිකා හානියක් නොවන ආකාරයෙන් ගෙන යෑමට උපකාරී වනු ඇති බවයි.

මෙහෙයුමේ පිරිවැය පිළිබඳ විස්තර ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය විසින් ලබා දී නැත.

එහෙත් ඉන්දියානු පුවත්පත්වල පළවූ වාර්තාවල එය දැක්වුණේ රුපියල් බිලියන 3.78 ($46m; £ 36m) ලෙසය.

සෙනසුරාදා දිනයේ කෙරෙන උපාමාරුව සාර්ථක වුවහොත් ඉන්දියාව දැනටමත් සූර්යයා පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින රටවල් කිහිපයකින් යුතු සමූහයකට එක්වනු ඇත.

එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා 1960 ගණන්වල සිට සූර්යයා දෙස බලා සිනින අතර ජපානය සිය ප්‍රථම සූර්ය මෙහෙයුම 1981 දී දියත් කළේය.

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය 1990 ගණන්වල සිට සූර්යයා නිරීක්ෂණය කරයි.

2020 පෙබරවාරියේදී, නාසා සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය එක්ව සූර්ය කක්ෂයක් දියත් කළ අතර එය සූර්යයා සමීපව අධ්‍යයනය කරමින් දත්ත රැස් කරමින් එහි ගතික හැසිරීම මෙහෙයවන්නේ කුමකින් දැයි තේරුම් ගැනීමට උපකාරී වනු ඇතැයි විද්‍යාඥයෝ පවසති.

තවද 2021 දී නාසාහි නවතම අභ්‍යවකාශ යානය Parker Solar Probe සූර්යයාගේ පිටත වායුගෝලය වන corona හරහා පියාසර කළ පළමු යානය බවට පත්වෙමින් ඉතිහාසගත විය.