January 5, 2024

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර උපදෙස් ලබාදී තිබේ.

පැයකට ආසන්න කාලයක් පැවැති සාකච්ඡාවකදී කුමාර් සංගක්කාර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය තම අත්දැකීම් බෙදාගෙන ඇති අතර, ක්‍රිකට් තරඟාවලිය සඳහා පිටත්ව යෑමට පෙර තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් තුළ විශ්වාසය ගොඩනැංවා, ඔවුන්ව දිරිමත් කර ඇත.

ජනවාරි සිට පෙබරවාරි දක්වා පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලබන සතියේ දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකවරුන් වන සනත් ජයසූරිය හෝ මහේල ජයවර්ධන හෝ උපදේශකයකු ලෙස කණ්ඩායම සමඟ ගමන් කිරීමට නියමිත බව වාර්තා වේ.

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව විසින් පැවැත්වීමට මුලින් තීරණය කර තිබිණි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අන්තර්ජතික ක්‍රිකට් කවුන්සිලය (ICC) පනවා ඇති තහනමත් සමඟ තරගාවලිය දකුණු අප්‍රිකාවට ගෙන යන ලදී.