January 4, 2024

විදේශයක සිට ක්‍රියාත්මක වන ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් බව කියමින් පසුගියදා පොලිසියේ මැදිහත්වීමෙන් කඩාදැමුණු දෙහිවල පිහිටි සෝල් බීච් හෝටලයේ සැබෑ හිමිකරුවෝ විශේෂ ජනමාධ්‍ය හමුවක් පවත්වමින් මෙම සිදුවීමේ ප්‍රසිද්ධියට පත්නොවුණු වෙනත් තොරතුරු රැසක් අනාවරණය කළහ.

දැනට විදේශයක සිට ක්‍රියාත්මක වන ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික්ට අයත් බවට සැකකෙරෙන දෙහිවල පිහිටි සෝල් බීච් නම් මෙම හෝටලය කඩා බිඳදැමුණු බව පොලිස් වාර්තා උපුටා දක්වමින් ජනමාධ්‍ය වාර්තා කළේය.

මෙම හෝටලය අනවසර ඉදිකිරීමක් බව සොයාගැනීමෙන් පසු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ පොලිසිය විසින් එම හෝටලයේ ඉදිකිරීම් පසුගිය ජනවාරි 01වැනිදා ඉවත්කෙරිණි.

එහෙත් අදාළ ජනමාධ්‍ය හමුවේදී අනාවරණය කෙරුණු තොරතුරුවලට අනුව, අදාළ හෝටලයේ අධ්‍යක්ෂවරයකු සහ ආයෝජකයකු වන මොහොමඩ් රිෆා නමැත්තා වත්මන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සමග සමීප සම්බන්ධතා පවත්වා, ඔහුට විශාල ලෙස උපකාර කළ පුද්ගලයෙකි.

එසේම මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සමග ඔහුගේ පවතින සම්බන්ධතාද මොහොමඩ් රිෆා මෙම ජනමාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.

පහතින් දැක්වෙන්නේ මොහොමඩ් රිෆා එහිදී දැක්වූ අදහස් ය.

“දේශබන්දු මහත්තයා… වව්නියාවේ ඉන්නකොට මගේ මස්සිනා ඔයාට කොච්චර උදව් කළාද? ඒ ඉඳලා ඔයා පෑලියගොඩට ආවම ඔයා දානෙ දෙන ගෙවල්වලට මම කොච්චර බත් පාර්සල් දීලා ඇතිද?

ඒ වගේම කොරෝනා කාලේ පළවෙනි කොරෝනා දවසේ ඉදලා නිරෝධායනය වුණ ඔයාලගේ 205 දෙනෙක්ට මම මාසෙකට බඩු ඔක්කොම දෙනකොට සර්ට පෙනුණේ නැද්ද?

ඒ වගේම එම අවුරුද්දෙම ජනවාරි මාසේම ඔයාගේ නිලධාරීන්ට මගේ එෆ්ඩී දාල තිබුණ එකෙන් එන පොලී සල්ලි තමයි මම දීලා තිබුණේ. ඔයාගේ කඳුළ කියන වැඩසටහනට අපි ලක්ෂ 25ක් වියදම් කරලා කරල දුන්නේ නැද්ද?

ඒ කළේ, මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා කිව්වා මගේ වත්තේ දුම්කොළ සල්ලි තිබ්බා. ඒ දුම්කොළ සල්ලි මගේ අම්ම කිව්වා ගන්න එපා කියලා. මට අක්කර 48ක පොල් වත්තක් තියෙනවා. දේශබන්දු මහත්තයට මම කිව්වා ඒ දුම්කොළ සල්ලි තමයි මම ඔයාට දෙන්නේ. මේක ගන්න මගේ අම්ම එපා කිව්වා කියලා.

මගේ නම අපේ පවුල ඔක්කොම කැත කළේ ඔයා. මේක හරිද ඔයගොල්ලන්ට සන්තෝසයිද? මේ වගේ කරලා අපිව නැති කරපු එක සන්තෝසයිද?

තනි පුද්ගලික උවමනාවට කළේ. මම අහන්න කැමති ටිරාන් අලස්ගෙන්. ටිරාන් අලස් මහත්තයා මම ඩී.එස්. එකේ ඉගනගත්ත කෙනෙක්. ඔයාගේ තාත්තා ඉන්නකොට මගේ තාත්තා තමයි ඉස්කෝලේ පන්ති කාමර තුනක් හදලා දුන්නේ. අලස් මහත්තයා ඒක දන්නවා. එතකොට මලික් අලස් ඔයාගේ මල්ලි මමයි එකට ක්‍රිකට් ගහපු කට්ටිය.

ඇයි මහත්තයා ඔයගොල්ලෝ අපිට මෙහෙම කෙරුවේ? ඔයාල යුක්තිය කිව්වට සත්‍ය කියන්න ඕන. ඒකත් බලලා කරන්න තිබුණා.

මගේ ජනාධිපතිතුමාගෙන් කරන ඉල්ලීම මෙච්චරයි. මට වෙච්ච අලාභයයි, මගේ නම කැතකරපු එකටයි, තනි පුද්ගලික උවමනාවට කළ එකටයි, ඒ අය ඔක්කොම ඩොකියුමන්ට් මාරු කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ගෙන් අවසර අරගෙන කරුණු 08කට අනුව තමයි අපි මේක හදලා තියෙන්නේ. ඒ නිසා අපිට කරුණාකරලා සාධාරණය ඕනේ. මගේ ළඟ වැඩකරන අයටයි. මගේ ආයතනයට වුණ අලාභයටයි. මේ කරපු අයට දඩුවම් දෙන්න ඕන. එච්චරයි මට ඕන.”

42.31%
17.27%
32.76%