January 4, 2024

පාකිස්ථානය සමග ඇති නිදහස් වෙළඳ ගිවිසුම (FTA) යටතේ බාස්මතී සහල් ආනයනයේදී දේශීය වශයෙන් සිදුකෙරෙන පරීක්ෂණ ප්‍රමාදවීම හේතුවෙන් එම ගිවිසුම යටතේ සහල් ආනයනයට ඉඩ ලැබෙන මුළු කෝටාව ප්‍රයෝජනයට ගැනීමට බාධාවක් වී තිබේ.

සිය සහල් පිළිබඳ සහතිකය ඇතුළු විවිධ ආයතන තුනක සහතික තිබියදීත් ශ්‍රී ලංකාවේ පරීක්ෂණ ක්‍රියා පිළිවෙත නිසා ඇති වූ ප්‍රමාදය පිළිබඳ පාකිස්ථාන බලධාරීන් අතෘප්තිය ප්‍රකාශ කර ඇති බව ද වාර්තා වේ.

මෙය දෙරට අතර අවබෝධය දුරස්වීමකට ද තුඩු දී ඇති අතර, ශ්‍රී ලංකා බලධාරීන් සිය පරීක්ෂණ ක්‍රමවේදයන්ගේ අවශ්‍යතාව අවධාරණය කළ ද, පකිස්ථානය එය සළකනු ලබන්නේ සීමාව ඉක්මවා කෙරෙන ක්‍රියාදාමයක් ලෙසයි.

නිදහස් වෙළඳ ගිවිසුමේ කොන්දේසිවලට අනුව ශ්‍රී ලංකාවට බාස්මතී සහල් ටොන් 6000ක් ආනයනය කිරීමට අවසර තිබේ.

කෙසේවෙතත් නිෂ්කාශන ප්‍රමාදයන් හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ රට තුළට පැමිණ ඇත්තේ ටොන් 300ක් පමණ වන සහල් ප්‍රමාණයක් පමණි.

අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ, බොහෝ විට නැව්ගත කෙරෙන බහාලුම් මාස ගණනක ප්‍රමාදයන්ට මුහුණ දෙන අතර එය දෙරට අතර වෙළඳ සබඳතාවල ආතතිය තවත් උග්‍ර කරන බවයි.

වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු ද එවැනි ගැටලුවක් පවතින බව පිළිගෙන තිබේ.

බතලගොඩ සහල් පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ මේ සම්බන්ධ ප්‍රමාදයක් පවතින බව ඔහු පැවසීය.

ක්‍රියාවලියෙන් ඉවත්කර ආනයනය කරන ලද තොග ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියට යටත්ව නිෂ්කාශනය කිරීමට කටයුතු කරන බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

42.31%
17.27%
32.76%