January 2, 2024

නිවාස තනා දෙන බව පවසා පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන වංචා කළේ යැයි කියන බම්බලපිටිය “කැදැල්ල රියල් ස්ටේට්” නමැති ආයතනයේ අධ්‍යක්ෂවරුන් දෙදෙනකුට එරෙහිව චෝදනා දෙකක් යටතේ බම්බලපිටිය පොලිසිය නඩු දහයක් ඊයේ (01) පවරා ඇත.

නිවාස ඉදිකර දෙන බවට පවසා මුදල් ලබාගෙන වංචා කිරීමට එරෙහිව, සාපරාධී විශ්වාසයක් කඩ කිරීම් සහ සාපරාධී සාවද්‍ය පරිහරණය යන චෝදනා යටතේ මෙම නඩු පවරා තිබේ.

නඩුවේ විත්තිකරුවන් ලෙස සංජය කුමාර් සහ දේවිකා සඳමාලි යන අය නම්කර ඇත.

ඇප මත සිටින සැකකරුවෝ ඊයේ අධිකරණය හමුවේ පෙනීසිට තිබේ.

2016 වසරේ නොවැම්බර් හා දෙසැම්බර් යන කාලය තුළදී පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ දෙක හා ලක්ෂ පහ අතර මුදලක් අත්තිකාරම් ලෙස ලබාගෙන වංචා කිරීමට එරෙහිව මෙම නඩු පවරා ඇත.

නඩුවේ සාක්ෂිකරුවන්ට නොතිසි නිකුත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේකර, නඩු විභාගය මැයි මස 6 වැනි දිනට කල්තබා තිබේ.(ලංකාදීප)

42.31%
17.27%
32.76%