January 2, 2024

පොළොන්නරුවේ අති දුෂ්කර පාසලක් වන අසේලපුර මහා විද්‍යාලයේ පුංචි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මුවගට සිනහවක් ගෙන එමින්, ඔවුන්ගේ ක්‍රීඩා දිවියට ශක්තියක් වීමට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානක සහ නව නායක කුසල් මෙන්ඩිස් ඇතුළු ක්‍රීඩකයන් පිරිසක් ඉදිරිපත්ව සිටිති.

ඒ, එම දරුවන් විඳින දුෂ්කරතා පිළිබඳ කළ අනාවරණයේ ප්‍රතිඵලයක් ලෙසයි.

පොළොන්නරුව අසේලපුර මහා විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් පුහුණුවීම් සඳහා භාවිත කරන පැති විකට්ටුව ඉවත දැමු මාළු දැල් යොදාගෙන ආවරණය කරගනිමින්, දුෂ්කරතා රැසක් මැද ක්‍රිකට් පුහුණුවීම්වල නිරත වන ආකාරය පසුගියදා වාර්තා විය.

මෙම පුවත දුටු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනකුගේම කළමනාකරු ලෙස කටයුතු කරන අසංක විජේවර්ධන, ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනකු සමග අසේලපුර මහා විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට උපකාර කිරීමට ඉදිරිපත්ව ඇත.

ඒ අනුව, ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්වන කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, දුනිත් වෙල්ලාලගේ සහ ප්‍රභාත් ජයසූරිය එහි ගියේ අසේලපුර මහා විද්‍යාලයට අවශ්‍ය සියලු ක්‍රිකට් ක්‍රීඩා භාණ්ඩ රැගෙනයි.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ දසුන් ශානක;

“මේක රටට දැනුවත් කළේ.ක්‍රීඩකයෙක් විදිහට මම දන්නවා පොඩිකාලේ ඉඳන් අපිට තිබ්බ දුෂ්කරතා මොනවද කියලා.ඒ දුෂ්කරතාවලට මෙතන ඉන්න ක්‍රීඩකයො හැමෝම මුහුණදීල තියනවා.මේ වගේ දායකත්වයක් කරන්න ලැබීම ලොකු සතුටක්. ඔගොල්ලන්ගෙන් කෙනෙක් ඉස්සරහට ජාතික කණ්ඩායම නියෝජනය කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා. අපි සියලුදෙනාම ඔගොල්ලන්ගෙ පස්සෙන් ඉන්නවා.”

කුසල් මෙන්ඩිස්;

“අපේ කිසිම කෙනෙක් ලේසියෙන් මෙතන්ට ඇවිල්ල නැහැ කිසිම කෙනෙක්.මම උණත්, අනිත් ක්‍රීඩකයෝ උණත් දුක් මහන්සියෙන් තමයි මේ තැනට ආවේ. අඩුපාඩු හැමෝටම තියෙනවා. ක්‍රීඩකයො හැමෝම කැමතිවුණා ඔයාලට උදව් කරන්න. ඔයගොල්ලෝ කවදාහරි ජාතික කණ්ඩායමට හරි, 19න් පහළ කණ්ඩායමට හරි සුදුසුකම් ලබනවා නම්, එදාට තමයි අපිට සතුටක් එන්නේ අපි ඔයාලට උදව් කරලා ඔයාල ඒ දේ කළා කියලා.”

ධනුෂ්ක ගුණතිලක;

“මේ වගේ තැනකට ආවට පස්සෙ තමයි දැක්කේ මේ වගේ දුෂ්කර පැති තියනවා, මේ වගේ ගොඩක් හොඳ ක්‍රීඩකයො ඉන්නවා කියලා. මේ වගේ දේවල් මුළු රටටම පෙන්නුවෙ නැත්නම් කවුරුත් දන්නෙ නෑ.අපි විතරක් නෙමෙයි තව උදව් කරන්න බලාගෙන ඉන්න අයත් එයි මීඩියා වලින් ඉස්සරහටත් මේ වගේ දේවල් පෙන්නුවම”
(අද දෙරණ)