December 31, 2023

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘පක්ෂ නායක’ ලෙස නව තනතුරක් බිහිකරමින් එම තනතුරට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පත්කිරීමට සූදානම් පක්ෂයේ අභ්‍යන්තර පවසයි.

පක්ෂයේ සභාපති ධුරය ලබාදෙන ලෙසට හිටපු ජනාධිපතිනිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ පක්ෂයේ වත්මන් සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නව තනතුර ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත.

ඉතා අඩු බලතල සහිතව පක්ෂ නායක තනතුර ස්ථාපිත කෙරේ.

මේ පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවද ලබන මස අටවැනිදා කැඳවීමටද හිටපු ජනාධිපතිවරයා තීන්දු කර තිබේ.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයද ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් ප්‍රතිසංවිධානය කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සූදානම් වෙයි.

සන්ධානයේ පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙසට අගමැති දිනේෂ් ගුණවර්ධන ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයට දැනුම් දී ඇත. ඒ මහජන එක්සත් පෙරමුණේ නායකයා ලෙසිනි.

එම රැස්වීමද ජනවාරි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා සම්බන්ධයෙන්ද මෙහිදී තීන්දුවක් ගැනීමට නියමිතය.

දැනට මහ ලේකම් ලෙස කටයුතු කරන හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල හා හිටපු මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර යන දෙදෙනාම මැතිවරණ කොමිෂන් සභාව නොපිළිගැනීම ඊට හේතුවයි.

මහලේකම් ධුරය සම්බන්ධයෙන් අධිකරණයේ දී නඩුවක් ද විභාගවන අතර එම නඩුවද කඩිනමින් අවසන් කරගැනීම සඳහා මහලේකම් තනතුර පිළිබඳ ගැටලුව නිරාකරණය කර ගැනීමටද මෙම රැස්වීම පැවැත්වීමේ ප්‍රධාන අරමුණක් වෙයි.(අරුණ)

42.31%
17.27%
32.76%