December 31, 2023

දැනට පවතින වසර 87ක් පැරණි කර්මාන්තශාලා සංකීර්ණය නවීකරණය නොකර දුම්රිය කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා රත්මලාන දුම්රිය ඩීසල් බලවේග කට්ටල කර්මාන්තශාලා ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට රජය ගත් තීරණයට දුම්රිය සේවකයන් 2000කට අධික පිරිසකගේ විරෝධය එල්ල වී තිබේ.

ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යොදාගනිමින් සිදුකිරීමට යන මෙම පියවර නිසා 1936 බ්‍රිතාන්‍ය පාලන සමයේදී අක්කර 34ක භූමි භාගයක ආරම්භ කරන ලද සහ ආසියාවේ විශාලතම සම්පතක් වන දැවැන්ත කර්මාන්තශාලා 34කින් සමන්විත රත්මලාන දුම්රිය කර්මාන්තශාලා සංකීර්ණය නොසළකා හැරීමට හේතුවිය හැකි බව වෘත්තීය සමිති නායකයෝ පෙන්වාදෙති.

ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තුමේන්තුව යටතේ ක්‍රියාත්මක වන මෙම දුම්රිය කර්මාන්තශාලා දුම්රිය ප්‍රවාහනයට අවශ්‍ය තොග පවත්වාගෙන යෑමේ දී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරයි.

එය දැනට විවිධ වර්ග 21කින් යුත් දුම්රිය එන්ජින් 180කින්, මගී මැදිරි 800කින් සහ භාණ්ඩ ප්‍රවාහන මැදිරි 1,500 කින් සමන්විත බව දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

චයිනා සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සමාගමට කොන්ත්‍රාත්තුව ලබාදීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

චීන සමාගම කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශයට අනුව ප්‍රතිචාර දක්වන ලද අඩුම ලංසුකරුවා බව එම නිලධාරියා පැවසීය.

පවතින කර්මාන්තශාලා සංකීර්ණය යථා තත්ත්වයට පත්කිරීමට ක්‍රියා කරනවා වෙනුවට ඩොලර් මිලියන ගණනක ණය ලබාගෙන එම මුදල් කොල්ලකෑමට යොදාගතහැකි ව්‍යාපෘති දියත් කරමින් බලධාරීන් දුම්රිය විනාශ කරමින් සිටින බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී.විතානගේ පැවසීය.

රත්මලාන කර්මාන්ත ශාලාවේ සිදු කෙරෙන අලුත්වැඩියා කටයුතු මේ වන විට අඩාළ වී ඇති බවත්, අවශ්‍ය අලුත්වැඩියාව සඳහා අමතර කොටස් සහ උපාංග, නවීන තාක්ෂණය, එන්ජින් ලිහිසි තෙල් සහ පුහුණු ශ්‍රමිකයන් අත්‍යවශ්‍ය වුවද බලධාරීන්ගේ මැදිහත්වීමක් නොමැති බවත් ඔහු පෙන්වාදෙති.

42.31%
17.27%
32.76%