December 31, 2023

සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දුන් ව්‍යාජ ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්’ එන්නත් සඳහා ගෙවීමක් ලෙස Isolez Biotech Pharma AGහි බැංකු ගිණුමකට බැර කර ඇති රුපියල් මිලියන 144.4ක් වන මුදලට සිදුවූයේ කුමක්දැයි සොයාබලන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණයට දන්වා සිටියේ සැකකරුගේ ගිණුමට මුදල් තැන්පත් කළ වහාම එම මුදල් ලබාගෙන ඇති බවයි.

එය සළකාබැලූ මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම එම මුදල් ආපසු ලබාගත්තේ කවුරුන්ද යන්න සහ ඊට සිදු වූ දේ පිළිබඳ සොයාබලන ලෙසත්, නඩුව මීළඟට කැඳවන ජනවාරි 10 වැනිදා ඒ පිළිබඳ අධිකරණයට වාර්තා කරන ලෙසත් නීතිවිරෝධී වත්කම් හෝ දේපළ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට නියෝග කළාය.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මිලදීගත් ඉමියුනොග්ලොබියුලින් තොගය පිළිබඳ වංචාවට සම්බන්ධ බවට හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට විවෘත අධිකරණයේදී චෝදනා එල්ලවිණි.

පළමු සැකකරු වන Isolez Biotech Pharma හිමිකරු සුගත් ජානක ප්‍රනාන්දු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ජාලිය සමරසිංහ, මෙම සිද්ධියට රඹුක්වැල්ල සම්බන්ධ බවට තම සේවාදායකයා කළ ප්‍රකාශයක් සටහන් කර ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කළ බවට චෝදනා කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ඔහුගේ නිවසට පැමිණීම සම්බන්ධයෙන් ද සැකකරුවන්ගේ නීතීඥවරයා දැඩි ලෙස විරෝධය පළ කළේය.

ප්‍රකාශ ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා අත්අඩංගුවට ගත් තම සේවාදායකයන්ට සිදු වූ දෙය සමඟ සැසඳීමේ දී එය වෙනස් බව පෙන්වා දුන්නේය.

ප්‍රකාශ ලබා ගැනීමේදී පොදු පිළිවෙතක් අනුගමනය කරන ලෙස මහේස්ත්‍රාත් අබේවික්‍රම රහස් පොලිසියට නියෝග කළේය.

රඹුක්වැල්ලගේ සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) හිටපු ප්‍රධාන විධායක නිලධාරී විජිත් ගුණසේකරගේ උපදෙස් පරිදි ක්‍රියාකළ බවට ප්‍රකාශයක් කරන ලෙසට පළමු සැකකරුගේ නීතීඥවරයා තම සේවාදායකයාගෙන් කළ ඉල්ලීමට ඇය තවදුරටත් අවසර ලබාදුන්නාය.

ඒ අනුව සැකකරු බන්ධනාගාරයට ගොස් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

පළමු විත්තිකරු වන සුගත් ජානක ප්‍රනාන්දුට එම එන්නත නිෂ්පාදනය කිරීමට අවසරයක් නොමැති නමුත් ඔහු ඒවා නිෂ්පාදනයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ඇතුළු මෙවලම් ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් ඩී.එස්.ජී.ගිරිහාගම අධිකරණයට දන්වා සිටියේය.

මෙම භාණ්ඩ රේගුවෙන් නිෂ්කාශනය කිරීමට අවසර දුන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ශ්‍රී ලංකා රේගුව තවමත් තොරතුරු ඉදිරිපත් කර නොමැති බවද ඇය පැවසුවාය.

ඊට අදාළ සියලු ලිපි ලේඛන ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළාය.

හදිසි ප්‍රසම්පාදන කමිටුවක් හරහා ඇණවුම් කරන ලද ඖෂධ මාස 10කට වඩා ප්‍රමාද වී පැමිණීම ගැටලු සහගත බවත් එය හදිසි මිලදී ගැනීමේ අරමුණට පටහැනි බවත් ඩී.එස්.ජී.ගිරිහාගම මෙහිදී ප්‍රකාශ කළාය.

පළමු සැකකරුට එවැනි ඖෂධ නිෂ්පාදනය කිරීමට බලයක් නොමැති බව ඇය අවධාරණය කළාය.

සියලු සැකකරුවන් ජනවාරි 10 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළ අබේවික්‍රම මහේස්ත්‍රාත්වරිය එදිනට ඔවුන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගයක් ලබාදෙන බව ප්‍රකාශ කළාය.

ඇමැති රඹුක්වැල්ලගේ ප්‍රකාශයේ සඳහන් මේ සම්බන්ධයෙන් වන ඇමැති මණ්ඩල සංදේශ තුනක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස ද ඇය කැබිනට් ලේකම්වරයාට නියෝග කළාය.

පළමු සැකකරු වන ප්‍රනාන්දු ලබන සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුගේ ඖෂධ නිෂ්පාදන කම්හල වෙත සැලසුම් කර ඇති නිරීක්ෂණ චාරිකාවකට පැමිණීම සහතික කිරීමට සහය වන ලෙස ද ඇය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

ඉමියුනොග්ලොබියුලින් වංචාව සම්බන්ධයෙන් ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත (ඔහුද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටී) රඳවා තබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත් වීම සම්බන්ධයෙන් නීතීඥ සමරසිංහ මීට පෙර අධිකරණයට කළ ලිඛිත දේශනවලදී ප්‍රශ්න කළේය.

මෙයින් පෙනී යන්නේ කරුණු වසන්කිරීමේ සහ “රජවරුන්” ආරක්ෂා කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව යැයි ද ඔහු චෝදනා කළේය.

විමර්ශනය සාධාරණව හා විනිවිද භාවයෙන් සිදු නොවන බවට ද එය සාක්ෂියක් බව ඔහු කියා සිටියේය.

අපරාධයට සම්බන්ධ රඹුක්වැල්ල, චන්ද්‍රගුප්ත යන පිරිස ඇතුළු සියලු නිලධාරීන් රඳවා තබාගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම පොලිස් ආඥාපනතේ 56 වැනි වගන්තිය උල්ලංඝනය කිරීමක් බවත් එම බලධාරීන් අධිකරණයට අපහාස කරන බවත් නීතිඥවරයා පැවැසීය.

42.31%
17.27%
32.76%