December 20, 2023

ඕමානයේ සුල්තාන්වරයා වන, හයිතම් බින් තාරික් පළමුවරට ඉන්දීය සංචාරයක නිරත වී තිබේ.

මෙම සංචාරය අනාගතය සඳහා ඉන්දියා-ඕමාන් ඒකාබද්ධ දැක්මක් සම්මත කරගැනීමට වැදගත්වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පර්සියානු ගල්ෆ් කලාපයේ ආර්ථික හා උපායමාර්ගික වශයෙන් ඉන්දියාව කෙරෙහි ඇති උනන්දුව මෙම සංචාරයට හේතු වී ඇත.

ඊශ්‍රායල-හමාස් ගැටුමෙන් පැනනගින අභියෝග පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.

ඉන්දීය අගමැති මෝදි, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ඔවුන් ද්විපාර්ශ්වික සබඳතාවල සම්පූර්ණ පරාසය සමාලෝචනය කළ අතර වාණිජ, සංස්කෘතිය, ආරක්‍ෂාව, නවෝත්පාදන සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් සහයෝගීතාව ගැඹුරු කිරීමේ ක්‍රම පිළිබඳවද සාකච්ඡා කළ බවයි.

“සීපා ගිවිසුම පිළිබඳ සාකච්ඡාව මේ වන විට සිදුවෙමින් පවතින අතර වැදගත් කරුණු රැසකට එකඟ වූ සාකච්ඡා වට දෙකක් සාර්ථකව අවසන් වීම ගැන මම සතුටු වෙනවා. අපගේ ආර්ථික සහයෝගීතාවයට නව මානයක් එක්කරන මෙම ගිවිසුම ඉක්මනින් අත්සන් කිරීමට අපට හැකිවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි” හෙතෙම වැඩිදුරටත් සදහන් කර තිබේ.

2023 තුන්වන කාර්තුව අවසානයේදී, ඉන්දියාව සහ ඕමානය අතර වාණිජ හුවමාරුව ඕමාන් රියාල් බිලියන 1.447ක් වන අතර ඉන්දියානු සමාගම් 1,744ක් ඕමානයේ විවිධ ක්ෂේත්‍ර ගණනාවක ආයෝජනය කර ඇත.

එසේම, ඕමානයේ වරායන් ඉන්දියානු වාණිජ සහ නාවික නැව් ගමනාගමනය සඳහා ප්‍රයෝජනවත් වන අතර ඉන්දියාවේ සියලුම ත්‍රිවිධ හමුදාව ඔවුන්ගේ ඕමාන් නිලධාරීන් සමඟ අභ්‍යාස පවත්වන බවද වාර්තා වේ.

ඉන්දියාව විසින් ඕමානය රාජ්‍ය තාන්ත්‍රික මිතුරෙකු ලෙස පමණක් නොව සාමය, ස්ථාවරත්වය සහ අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගීතාවයන් පෝෂණය කරන බටහිර ආසියාවේ දොරටුවක් ලෙස සලකයි.

තවද, ඉන්දීය අගමැතිවරයා සුල්තාන්ගේ සංචාරය අතරතුර, පසුගිය මාසයේදී ඕමානය 2024දී පැවැත්වීමට නියමිත T-20 ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ඇති බවත්, ඒ සදහා ඔවුන්ට සුබපතන බවත් ප්‍රකාශ කර තිබේ.