December 30, 2023

ලබන වසරේ ජනවාරි මස සිට වයස අවුරුදු දහඅටට වැඩි සියලුමදෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තු ලියාපදිංචි අංකය (TIN Number) ලබාගත යුතු බව දේශීය ආදායම් කොමසාරිස් ඒ එම්. නෆීර් පවසයි.

බදු ගෙවීම සඳහා ආදායමක් පවතින්නේ නම් පමණක් ඔවුන් ආදායම් බදු ගෙවිය යුතු බවත්, හැමදෙනාටම ජාතික හැඳුනුම්පත් අංකයක් තිබෙන ආකාරයට (TIN Number) අංකයක් ලබාදීම මෙහි අරමුණ බවත්, ඔහු සඳහන් කරයි.

දැනට තිබෙන ජාතික හැඳුනුම්පත් අංකයට අමතරව මෙම අංකය ලබාගැනීම අනිවාර්ය වෙයි.

එකතු කළ අගය මත බද්ද (VAT) යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැළපීම් සිදුකරමින් වැට් බදු සංශෝධනය හමුවේ සිදුවන බලපෑම අවම කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා ප්‍රකාශ කළාය.

මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මේ බව සඳහන් කළේ “එකතු කළ අගය මත බදු (VAT) සංශෝධන පනත සහ එහි බලපෑම” යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඉකුත් 28 දා පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ. එම්. නෆීර්, ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජේ. ගුණසිරි හා අධ්‍යක්ෂ කේ. කේ. අයි. එරන්ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනක එදිරිසිංහ යන අය මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශක තනූජා පෙරේරා මෙසේද සඳහන් කළාය.

“2002 අංක 14 දරණ පනත මගින් වැට් බද්ද පනවා තිබෙනවා. ඒ අනුව එය මෙරටට හඳුන්වා දී වසර 20ක් පමණ ගතවී තිබෙනවා. මුල් අවධියේදී වැට් බදු අනුපාත දෙකක් වශයෙන් පැවතුනත් පසුව එය අනුපාත තුනක් ලෙස සංශෝධනය වුණා. මේ ආකාරයට වරින් වර විවිධ අගයන්වලින් පැවතුණු මෙම වැට් බදු අනුපාතය 2019 වසරේ සිදු කළ බදු සංශෝධන මගින් 8%ක් දක්වා පහත දැමුණා. ඒ හමුවේ රාජ්‍ය ආදායම විශාල ප්‍රමාණයකින් පහත වැටුණා. පසුව එය 15%ක් දක්වා ඉහළ දැමුණා.

පසුගිය මාසයේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරුණු වැට් බදු සංශෝධන පනත මගින් 2024 ජනවාරි 01 වැනිදා සිට වැට් බදු අනුපාතය 15% සිට 18% දක්වා වැඩි කර තිබෙනවා. අපට තවදුරටත් සහන මත පදනම්ව ඉදිරියට යෑමට අපහසුයි. රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමේ අත්‍යවශ්‍ය කාරණය මත මෙම බදු සංශෝධනය සිදුකර තිබෙන බව කිව යුතුයි. ඒ සඳහා අවශ්‍ය වන බදු ප්‍රතිසංස්කරණ ගණනාවක් පසුගිය කාලය තුළ සිදුකර තිබෙනවා.

2019 වන විට වැට් බදු සඳහා ලියාපදිංචි වීමේ සීමාව මිලියන 15ක්ව පැවතුණා. නමුත් 2020 ජනවාරි 01වන දා සිට එම සීමාව මිලියන 300ක් දක්වා ඉහළ නංවනු ලැබුවා. ඒ සමඟ වැට් බදු සඳහා ලියාපදිංචි වී තිබූ බදු ලිපිගොනු විශාල ප්‍රමාණයක් අක්‍රීය වුණා. නමුත් පසුව එය මිලියන 80ක සීමාව දක්වා පහත හෙළනු ලැබුවා. නව සංශෝධනය අනුව 2024 ජනවාරි 01 වැනිදා සිට එය රුපියල් මිලියන 60ක් දක්වා තවදුරටත් පහතට ගෙනැවිත් තිබෙනවා. ඒ වගේම බදු නිදහස් කිරීම් විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට නව සංශෝධනයේදී කටයුතු කර තිබෙනවා. රජයට අහිමි වී තිබූ අති විශාල ආදායම නැවත ලබාගැනීම මෙහි අරමුණයි.

නමුත් ඇතැමුන් මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් වැරැදි අදහස් සමාජගත කරමින් සිටිනවා. ඇතැමුන් හුවා දක්වනවා ජනවාරි 01 වැනිදා සිට ජීවත් වෙන්න අමාරු බවත්, බදු සංශෝධනය සමග අති විශාල වියදමක් පවුලකට දැරීමට සිදුවන බවත්. බදු සංශෝධනය නිසා යම් අමතර වියදමක් එකතු වන නමුත් එය ඇතැමුන් උලුප්පා දක්වන තරමේ ඉහළ යාමක් නොවන බව සඳහන් කළ යුතුයි. ඒ වගේම එකතු කළ අගය මත බද්ද යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් මේ වන විටත් රජය අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා.

උදාහරණයක් ලෙස ඇතැම් භාණ්ඩ ආනයනය කිරීමේදී වරාය හා ගුවන්තොටුපළ බද්ද අදාළ වෙනවා. එම භාණ්ඩවලින් වරාය හා ගුවන්තොටුපළ බද්ද ඉවත් කර වැට් බද්ද පමණක් පවත්වා ගැනීම මගින් වැට් බද්ද වැඩි වීම මගින් සිදුවන බලපෑම අවම කිරීමට කටයුතු කිරීම වැනි සාධනීය පියවර ක්‍රියාත්මක කිරීමට නියමිතයි.”

දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ. එම්. නෆීර් –

“පාර්ලිමේන්තුවෙන් සම්මත කර දුන් මෙම බදු පනත ක්‍රියාත්මක කිරීමේ වගකීම දේශීය අදායම් දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබෙනවා. බදු පදනම පුළුල් කිරීමේ ක්‍රියාමාර්ගයක මේ වනවිට අප යෙදී සිටිනවා. ලියපදිංචි බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව ගත් විට, 2022 වර්ෂයේදී සමාගම් 73,444ක් ලියාපදිංචි වී තිබූ අතර මෙම වසරේ නොවැම්බර් මාසය අවසන් වන විට එය 81,909ක් දක්වා වැඩි වී තිබෙනවා.
මේ තත්ත්වය ඉදිරියේදී ලිහිල් විය හැකියි.

2024 ජනවාරි මාසයේ සිට වයස අවුරුදු 18ට වැඩි සියලුම දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN Number) ලබා ගත යුතුයි. මෙය වරදවා වටහාගන්න එපා. ලියාපදිංචි අංකය ලබාගැනීම සහ බදු ලිපිගොනු විවෘත කිරීම කාරණා දෙකක්. සෑම දෙනකුටම ජාතික හැඳුනුම්පත් අංකයක් තිබෙනවා වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකයක්ද පැවතිය යුතුයි. බදු ගෙවීම සඳහා තරම් ආදායමක් පවතින්නේ නම් පමණක් ඔවුන් ආදායම් බදු ගෙවිය යුතුයි. එවිට ඔවුන්ට අදායම් බදු ගෙවීම සඳහා ලිපිගොනුවක් විවෘත කිරීම සිදු වෙනවා.”(දිවයින)